Site icon Newshub

රට තුළ පුළුල් දේශපාලන පෙරමුණක් – නායකයා රනිල් ද?

අද ආණ්ඩුව ආණ්ඩුවේ වගකීමත් විපක්ෂය විපක්‍ෂයේ වගකීමත් ඉටු නොකරන තත්ත්වය මත රට තුළ පුළුල් දේශපාලන පෙරමුණක් ගොඩනැගීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (24 ) පැවැත්විණි.

කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයින් සහ ක්‍රියාකාරීන් රැසක් සහභාගිව සිටියහ.

අලුතෙන් ගොඩනැගෙන පුළුල් පෙරමුණ සඳහා විපක්ෂයේ සියලු දේශපාලන බලවේග ඒකරාශී කර ගැනීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබේ.

පොදු අරමුණකින් ගොඩනැගෙන නව දේශපාලන පෙරමුණ හුදෙක් දේශපාලන කටයුතු හා මැතිවරණවලට ඉදිරිපත් වීම ඉලක්ක කරගත් එකක් නොවන බවත් එය රට නිසි මාවතකට යොමු කරවීමේ බලවේගයක් බවත් ඊයේ පැවති සාකච්ඡාවට එක් වූ දේශපාලන පක්ෂ නායකයෝ පැවසූහ.

වර්තමානයේ රට මුහුණ පා සිටින සමාජ ආර්ථික හා දේශපාලන කරුණු ගණනාවක් පිළිබඳව ඊයේ පැවති සාකච්ඡාවේදී පුළුල් අවධානයක් යොමු කළ බව ඔවුහු සඳහන්කළහ.

අද ආණ්ඩුව ආණ්ඩුවේ වගකීම ඉටු නොකරන අතරම නිසි දැක්මක් සැලැස්මක් ඇතිව කටයුතු නොකිරීම හේතුවෙන් රට දිගින් දිගටම බරපතළ කඩා වැටීමකට ලක් වෙමින් තිබෙන බවත් මේ තත්ත්වය හමුවේ විපක්ෂයද ඔවුන්ගේ වගකීම ඉටු නොකර පසුගාමීව කටයුතු කරමින් සිටින බවත් එම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.

රට මෙවැනි තත්ත්වයකට මුහුණපා ඇති පසුබිමක ඉදිරියේදී රටත් ජනතාවත් දැඩි අර්බුදයකට ලක්විය හැකි බව පක්ෂ නායකයින් කිහිප දෙනෙක් පෙන්වා දුන්හ

මේ තත්ත්වය මත නොපමාව පුළුල් දේශපාලන බලවේගයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාවය මතුව තිබෙන බව පෙන්වා දුන් ඔවුහු එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළහ.

Exit mobile version