Site icon Newshub

සාමය උදාවන්නේ නම් ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් !

යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම යුක්රේනයට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ද හිමිවිය යුතු බවද සෙලෙන්ස්කී ඉල්ලා තිබේ.

විදෙස් මාධ්‍ය එය වාර්තා කරන්නේ ‘යුක්රේනයට සාමය උදා වෙන්නේ නම්, මා දැන්ම ජනාධිපති ධුරයෙන් සමුගන්නවා. හැබැයි යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවිය යුතුයි. එසේ සාමාජිකත්වය හිමිවෙනවා නම්, මා ධුරයෙන් ඉවත් වීමට සූදානම්’ යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර ඇති බවයි.

යුක්රේන රුසියන් යුද්ධයට මේ වනවිට වසර තුනක් ගතවී ඇති අතර යුද්ධය ආරම්භ වීමට හේතුව, යුක්රේනය, නේටෝ සාමාජිකත්වය ඉල්ලීමය. ‘නේටෝ’ යනු යුද සන්ධානයක් වන අතර ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය. යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස රුසියාව සලකයි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ එහෙයිනි.

යුක්රේන රුසියන් යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය කටයුතු කරමින් සිටී. ඇමෙරිකන් නියෝජිතයන් සහ රුසියන් නියෝජිතයන් අතරේ හමුවක් ද පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්විණි. එම සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කිරීමක් සිදු වූයේ නැත.

මේ සම්බන්ධයෙන් යුක්රේන ජනපති සෙලෙන්ස්කී මැසිවිලි නගද්දී, ට්‍රම්ප්, යුක්රේන ජනාධිපතිට චෝදනා කළේ ඔහු ඒකාධිපතියකු කියාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය අතරතුරේ සෙලෙන්ස්කීගේ ධුර කාලය අවසන් වුණු බැවින් සහ සෙලෙන්ස්කී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකළ බැවිනි.

Exit mobile version