පොදු මහජනතාව වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා අද (23) මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙතගොස් දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මහනායක හිමිවරුන් බැහැදුටු අතර, එහිදී ” කාලෙකින් බැරිවූ නිසා අපි දළදා හාමුදුරුවන්ගේ ප්‍රදර්ශනයක් කරමු” කියා යෝජනා කර සිටියේ ය.
අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ජනාධිපති අනුර දිසානායක දළදා ප්‍රදර්ශනය සම්බන්ධව මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡා කළ බවත් එහිදී, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ, මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ, රාජ්‍යනිළධාරීන්ගේ මෙන්ම දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මැදිහත්වීමෙන් අදාළ කටයුතු සූදානම් කිරීමට එකඟ වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය