අලුත් කඩේ අංක පහ අධිකරණය තුළදී ඝාතනය කළ පාතාල කල්ලි නායක ගනේ මුල්ලේ සංජීව ගේ ඝාතනය සම්බන්ධව මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැසක් වෙඩික්කරු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කරමින් හෙළිකර ඇත.
වෙඩික්කරු මෙම ඝාතනය සිදුකිරීමට පෙර දින කිහිපයක් නීතිඥයෙකු ලෙස සැරසී අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ අවස්ථා කිහිපයකදී පෙර සූදානම් කටයුතුවල නිරතව ඇති බව එහිදී අනාවරණය වී තිබේ.
මෙම ඝාතනය සිදුකිරීම සඳහා සම්පූර්ණ කොන්ත්‍රාත්තුව රුපියල් කෝටි එක හමාරක් ලබාදීමට පොරොන්දු වූ බවත් ඊට අමතරව සති දෙකකට වරක් රුපියල් ලක්ෂ දෙක බැගින් වැටුපක් ලෙස කොන්ත්‍රාත්තුව තමන්ට භාර දුන් අය කාලයක සිට ගෙවූ බවත් වෙඩික්කරු විසින් ප්‍රකාශ කර ඇත.
කෙහෙල් බද්දර පත්මේ. කොමන්ඩෝ සාලින්ද. සහ අවිශ්ක යන පාතාල කල්ලි සාමාජිකයන් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා තමන්ට නිරතුරුවම උපදෙස් ලබා දුන් බවද හෙළි කර තිබේ.
ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය අධිකරණ භූමියට රැගෙන පැමිණි කාන්තාව සහ තමා අතර දිගු කාලක සිට සබඳතා පැවැති බවත් ඒ අනුව ඝාතනය සිදුකිරීමට පෙර දින ඇය සමග ගිනි අවිය අධිකරණයට ගෙන ඒම සම්බන්ධව සැලසුම් කළ බවත් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී ඇත.
ඒ අනුව උසාවි භූමියේ දී අදාල කාන්තාව ගිනිඅවිය තමන් වෙත ලබා දීමෙන් පසුව එය කිසිවෙකුටත් සැකයක් සිදු නොවන ආකාරයට ඉතා සූක්ෂම ලෙස සඟවා ගෙන ගනේ මුල්ල සංජීවගේ නඩු විභාගය සිදුකරන අංක 5 උසාවිය වෙත රැගෙන ගොස් නිසි වේලාව පැමිණෙන තෙක් එහි රැඳී සිට ඝාතනය සිදු කළ බව වෙඩික්කරු අනාවරණය කර ඇත.
සංජීව ඝාතනය කිරීමෙන් පසු විත්තිකූඩුව ආසන්නයේ වසා තිබූ දොර වෙත දිව ගිය තමන් එය විවෘත කර පොලිස් නිලධාරීන් රැසක් එහි වට වී සිටියදී “අන්න ඇතුලේ වෙඩි තියෙනවා ” යයි කෑ ගසා කියමින් එම ස්ථානයෙන් බැහැරව ගිය බව වෙඩික්කරු පොලිසියේ ප්‍රශ්න කිරීමේ දී හෙළිකර ඇත.
ඝාතනය සිදු කිරීමෙන් පසුව තමන්ට සහ ඝාතනය සඳහා සහාය දුන් කාන්තාවට එම ස්ථානයෙන් පළායම සඳහා අධිකරණය ඉදිරිපිට වෑන් රථයක් ඇති බවට තමන්ට උපදෙස් ලබා දී තිබුණත් එම ස්ථානයේ වෑන් රථය නොතිබූ නිසා කුලී රථ යෙදුමක් මගින් කුලී රථයක් ගෙන්වා ගෙන දෙදෙනාම අධිකරණය ඉදිරිපිට සිට මීගමුව ආසන්නයට පැමිණි බව වෙඩික්කරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
මේ අතර ගිනි අවිය රැගෙන පැමිණි කාන්තාව සමඟ රෙදි පිළි වෙළඳ සැලකට ගොඩ වී ඉතා සුළු වේලාවක් තුළ ඇඳුම් කිහිපයක් මිලදී ගත් බවද ඔහු අනාවරණය කළේය.
මීගමුව ආසන්නයට පැමිණ එතන සිට කුලී පදනම යටතේ වෑන් රථයක් ලබාගෙන පුත්තලම කල්පිටියට ගොස් ඉන්දියාවට පලායාමට සැලසුම් කර තිබූ බව වෙඩික්කරු පොලිසිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
වෙඩි තැබීම සිදුකළ අවස්ථාවේ තමා ඇඳ සිටි ඇඳුම් ගමන් මල්ලක දමා එම ගමන් මල්ල වෑන් රථයෙන් ගමන් කරන අතර තුරදී කොච්චිකඩේ රිදී වැල්ල මාර්ගයේ දමා පැමිණි බවද වෙඩිකරුවෝ පොලිසියට ප්‍රකාශ කර ඇත.
පසුගියදා ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ දී සිදු කළ ද්විත්ව ඝාතනය ඇතුළු තවත් අපරාධ රැසක් තමා විසින් සිදුකර තිබෙන බවද වෙඩික්කරු පොලිසිය හමුවේ වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වෙඩික්කරු තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කර ගෙන යන අතර එහිදී තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිව තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය