මැතිවරණය වේදිකාවේදී ජීවන වියදමට සරිලන ලෙස මාස 6 න් හයට වැටුප් වැඩිකරන බව ජනාධිපති අනුර දිසානායක පැවසුවත් එම පොරොන්දුව ඉටු නොකර අයවැය හරහා තවදුරටත් ජනතාව රවටා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.
වගා හානි මුදල්, පොහොර සහනාධාරය ගෙවීම නිසි ලෙස සිදුකර නොමැති වත්මන් පාලනය වී මිලදී ගැනීමේ කටයුත්තේදී ද අසාර්ථකව ඇති බව පෙන්වාදුන් ඒ මහතා ගොවීන් වෙනුවෙන් ලබාදුන් පොරොන්දු හෝ ඉටුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මේ බව සඳහන් කර සිටියේ අද (18) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
යෝජිත පළාත් පාලන මැතිවරණය මැතිවරණ කොමිසම විසින් මෙතෙක් ගැසට් කර නොමැති නමුත් පුටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් සන්ධානයක් සමඟ ඊට ඉදිරිපත් වෙන බවත් ඒ වෙනුවෙන් තම අපේක්ෂකයන් බලාපොරොත්තු ඇතුව සැදී පැහැදී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.
අප්‍රේල් මැතිවරණය ඉලක්ක කර බඩු මළු බෙදීමේ ආණ්ඩුවේ සූදානමක් පිළිබඳව ද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා අනාවරණය කළ අතර ඒ සම්බන්ධව මැතිවරණ කොමිසමේ අවධානය යොමුකරවන බවද පැවසීය.