Site icon Newshub

දැලිපිහියෙන් කිරි කවන්න හැදුවට මේ අයවැයෙන් ජනතාවගේ දිව කැපෙනවා – පුබුදු ජයගොඩ

මෙවර අයවැය දැලිපිහියෙන් කිරි කෑමට උත්සාහ කරන අයවැයක් බවත් අන්තිමට ජනතාවට කිරි කෑමට නොහැකිව දිවත් කැපී කෙළවර වීමට ඉඩ තිබෙන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

රාජ්‍ය සේවක වැටුප් රුපියල් 15,000 කින් වැඩි වන බව ප්‍රකාශ කළත් එය වැඩි වන්නේ අවුරුදු තුනකින් බවත් ඒ අනුව සැබෑවටම වැඩි වන්නේ රුපියල් 8,250ක් බව ඒ මහතා පෙන්වා දෙන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව රජයේ මංගල අයවැය සම්බන්ධව අදහස් දක්වමින් මේ බව පැවසූ පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙවර අයවැය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගමන් කළ නව ලිබරල් පාරේම ලංකාව ගෙන යෑමට උත්සාහ කරන අයවැයක් බවයි.

ආණ්ඩුවේ එකම උත්සාහය වාහන ආනයනයෙන් බදු පවරා මුදල් සෙවීම බවත් එය සාර්ථක උත්සාහයක් නොවන බවත් ඒ මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ඇතැම් වැඩසටහන් පසුගිය ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක කිරීමට ගොස් ජනතා විරෝධය නිසා නවතා දැමූ ඒවා බව ජයගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version