Site icon Newshub

සහල් මෝල් හිමියන් සහල් පාලන මිල ඉහල දමා ගැනීමේ සූදානමක : ගොවි සංගම් හෙළිකරයි !

වී කිලෝවක් රු.130කට මිලදී ගන්නා බව පවසා ඉදිරියේදී සහල් මිල ඉහළ දමා ගැනීමට ඇතැම් මෝල් හිමියන් මේ වන විටත් ප්‍රකාශ සිදුකරමින් තිබෙන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසයි.

රජය විසින් ප්‍රකාශයට පත් කළ වී මිලෙන් ගොවියාට නිසි ලෙස සාධාරණයක් නොවුණත් සහල් මිල පාලනය කර පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දීම සඳහා ගොවි සංවිධාන රජයේ මිලට කැමැත්ත දැක්වූ බවද ඔහු සඳහන් කරයි.

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මේ බව සඳහන් කර සිටියේ පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමිනි.

රජයේ සහතික මිලට අනුව නාඩු වී කිලෝවක මිල රුපියල් 120 ක් වුවත් සමහර මෝල් හිමියන් විසින් නාඩු වී කිලෝවක් රුපියල් 130 කට මිලදී ගන්නා බවට ප්‍රකාශ කරන බව පෙන්වාදෙන ඒ මහතා වර්තමාන ආණ්ඩුව විසින් සහල් කිලෝවක් සඳහා නියම කර තිබෙන පාලන මිල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කළ යුතු බවද සඳහන් කරයි.

දැනට පවතින සහල් මිල මෙම වසර පවත්වා ගෙන ගොස් පාරිභෝගික ජනතාවට සහන ලබා දිය යුතු බවත්, දැනට පවතින සහල් මිල අඩු කර ගැනීමට අවශ්‍ය නම් ගොවි උපකරණ මත යොදා තිබෙන බදු ඉවත් කර ගොවිජනතාවට සහන ලබා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version