පසුගිය ඉරිදා රටේම විදුලිය බිඳ වැටීමට හේතුව පැලවත්තේ පිහිටි පද්ධති පාලක මධ්‍යස්ථානයේ ඒ අවස්ථාවේ සිටිය යුතු ඉංජිනේරුවරුන් තුන්දෙනා එම අවස්ථාවේ එහි නොසිටීම නිසා බව විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත.
රටම අඳුරේ තබමින් සිදුවූ මෙම විනාශකාරී ක්‍රියාව සම්බන්ධව මෙතෙක් නිසි පරීක්ෂණයක් සිදුකර නැති බවත් එම නිසා මේ සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදු කර වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස එම සංගමය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි.
විදුලිය බිඳවැටීම සිදුවෙන අවස්ථාව වන විට පද්ධති පාලන මධ්‍යස්ථානයේ දෛනික සේවා කාලසටහනට අනුව ඉංජිනේරුවරුන් තිදෙනෙක් සිටිය යුතු වුවත් එම අවස්ථාවේ එහි කිසිදු ඉංජිනේරුවරයකු සිට නැති බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බව එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ
” මේක කරලා තියෙන්නේ කකුල් හතරේ වඳුරෙක් නොවේ ඉංජිනේරු වඳුරෝ බව දැන් හෙළි වී තිබෙනවා මේ සිද්ධිය සිදුවූ මොහොතේ අපට විස්තර ලැබුණා ඒ අනුව සේවා කාලසටහනට වැඩ කරන ඉංජිනේරුවෝ තුන් දෙනෙක් ඉන්න ඕනි පැල් වත්ත මධ්‍යස්ථානයේ තුළ නමුත් මේ වෙලාවේ එක් අයෙක්වත් ඉඳලා නැහැ. සී. සී. ටී.වී දර්ශන පවා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නා.දැන් නිසි පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ ඉංජිනේරු වඳුරන්ට නිසි දඬුවම් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටිනවා”