Site icon Newshub

නාමල්ගේ තවත් නඩුවක් උඩට එයි : මේ පාර එන්.ආර්.කන්සල්ටන්සි සමාගමට !

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පිරිසකට අදාළව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව නීතිපති උපදෙස් විමසීමට කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී සිටියේය.

ඒ ඉකුත් යහපාලන රජය සමයේ අධිකරණයට ඉදිරිපත් කර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්.කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ නිත්‍යා සේනානී සමරනායක, සුජානි බෝගල්ලාගම සහ සුදර්ශන ගනේගොඩ යන අයට එරෙහිව ඇති නඩු කටයුත්තකට අදාළවය.

මෙය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවය.

නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් එම නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව පැමිණිල්ල අගෝස්තු මස 7 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියම කළේය.

Exit mobile version