Site icon Newshub

ආණ්ඩුවේ ප්‍රබලයකුගේ නියෝගයකින් කතරගම මහා දේවාලය විගණනය කරයි

ආණ්ඩුවේ ඉහළම දේශපාලනඥයෙකුගේ නියෝගයක් මත විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් රුහුණු කතරගම මහා දේවාලයට පැමිණ එහි පූර්ණ විගණනයක් ආරම්භ කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලයට ඊයේ (05) ඇතුළු වූ මෙම නිලධාරීන් අද දිනයේ ද විගණන කටයුතු සිදු කරමින් සිටින බව අප කළ විමසුමකදී කතරගම දේවාලයේ කපු මහතෙකු පැවසීය.

විහාර දේවාලගම් පනතට අනුව මෙලෙස විගණන කටයුතු සිදු කරන්නේ නම් ඒ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ පූර්ණ දැනුවත් වීමක් සහ අනුමැතියක් අවශ්‍ය වුවද මෙවර විගණන කටයුතු ආරම්භ කර ඇත්තේ එවැනි අනුමැතියකින් තොරව බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

රුහුණු කතරගම දේවාලයේ තිබූ රන් තැටියක් අතුරුදහන් වීම මෙන්ම දේවාලයට ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් අවභාවිත වන බවට පසුගිය කාලයේ රට තුළ දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබිණි.

කෙසේ වෙතත් පැමිණ සිටින නිලධාරීන් දින දෙක පුරාවට ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලයෙන් තොරතුරු ලබාගෙන පූර්ණ විගණනයක් ආරම්භ කර ඇති බව ඉහත කපු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version