Site icon Newshub

ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙලට අභියෝග කරන්න රනිල් විපක්ෂයේ සියලු නායකයින් කැඳවයි

පාර්ලිමේන්තුවෙන් පිටත ශක්තිමත් බලවේගයක් ගොඩනැගීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් 30 දා කොළඹදී පැවැත්විණි.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ මෙම සාකච්ඡාව ඉතා සාර්ථක බව ඊට සහභාගි වූ පක්ෂ නායකයෝ කිහිප දෙනෙක් ප්‍රකාශ කළහ.

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව පුළුල් ව්‍යාපාරයක් ගොඩනැඟීය යුතුබව මෙහිදී තීරණය කෙරිණි.

සාකච්ඡාවට එක් වූ පක්ෂ නායකයින් රැසක් ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව ගෙනයන පාලනය නිසා රටත් ජනතාවත් දිනෙන් දින විනාශය කරා තල්ලුවෙමින් තිබෙන බවයි.

මේ තත්ත්වය හමුවේ තවදුරටත් නිහඩව බලා නොසිට රටත් ජනතාවත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පුළුල් බලවේගයක් ගොඩනැගිය යුතු බව ද ඔවුහු පැවසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා කියා සිටියේ රට අඳුරෙන් අඳුරට යන මේ මොහොතේ පරණ කෝන්තර හා මතිමතාන්තර පසකලා හැමෝම එකට එක්විය යුතු බවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ මෙම සාකච්ඡාව ඉතාම සාර්ථකව පැවැත්වූ බවත් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙතට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ඒ මහතා පැවසීය.

ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා පක්ෂ නායකයින්ගෙන් සමන්විත කමිටු කිහිපයක් පත්කරගත් බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, හිටපු කතානායක මහින්ද යාපාඅබේවර්ධන, දුමින්ද දිසානායක,
කාංචන විජේසේකර, වජිර අබේවර්ධන, සාගල රත්නායක ඇතුළු විශාල පිරිසක් සහභාගීව සිටියහ.

Exit mobile version