Site icon Newshub

අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ “මහාචාර්ය” නාමය භාවිත නොකරන්න – අමාත්‍යාංශයේ සහකාර ලේකම්!

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මෙතෙක් භාවිත කළ මහාචාර්ය පදවි නාමය මින් ඉදිරියට කිසිදු ලේඛනයක සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් එහි අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.

අබේරත්න මහතා මහාචාර්ය තනතුරක් දැරුවද විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු නොකරන තත්ත්වයක් යටතේ මහාචාර්ය පදවිය භාවිතා කළ නොහැකි හෙයින් මින් ඉදිරියට එය භාවිත නොකර ආචාර්ය යන්න පමණක් භාවිත කිරීමට තීරණය කර ඇත.

මීට පෙර අමාත්‍යාංශ වෙබ් අඩවියේ ද අබේරත්න මහතාගේ නම ඉදිරියේ මහාචාර්ය පදවිය භාවිත කළ බවත් එය ඉවත් කිරීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.

මහාචාර්ය පදවිය සම්බන්ධව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අප කළ විමසුමකදී එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ මහාචාර්ය පදවියක් ඉසිලූ ආචාර්යවරයෙකු විශ්ව විද්‍යාලයෙන් ඉවත් වූ පසු එම තනතුරු නාමය පාවිච්චි කිරීමට ඔහුට හැකියාවක් නැති බවයි.

නමුත් විශ්වවිද්‍යාල සේවයෙන් පසු ආචාර්යවරයෙකුට සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනැමුවහොත් එය භාවිත කිරීමට හැකියාව තිබෙන බව ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version