එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි එක්විය යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ඉදිරි ඉදිරිපත් වූ යෝජනාව සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් ප්‍රතික්ෂේප කර ඇත.
පක්ෂ දෙක යළි එක් වෙනවා වෙනුවට පුළුල් පෙරමුණක් ඇතිකරගෙන එම පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණ වලට තරග කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.
එක්සත් ජාතික පක්ෂය සහ සමඟ ජන බලවේගය යළි ඒකාබද්ධ කිරීම සම්බන්ධව දෙපාර්ශවයේ නියෝජිතයන් අතර ඊයේ (21) රාත්‍රියේ කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ ඇත.
මෙම සාකච්ඡා සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් තලතා අතුකෝරාල, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, හිටපු ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශක ආචාර්ය අර්.එස්.එච්.සමරතුංගන යන අය ද සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි සභාපති කබීර් හෂීම්, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිමර් රහුමාන් සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරු සහභාගි වූහ.
පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී පක්ෂ දෙක එක්ව මැතිවරණ වලට ඉදිරිපත් වූ යේ නම් එම ඡන්ද ප්‍රතිඵල මීට වඩා වෙනස්වීමට ඉඩ තිබූ බවත් ඒ වැරැද්ද යළිත් සිදු නොවන ආකාරයට පක්ෂ දෙක සමගිව ඉදිරියට යා යුතු බවත් මෙහිදී දෙපාර්ශවයේම අවධාරණය කරන ලදී.
ඒ අනුව ඉදිරි මැතිවරණ වලට පුළුල් පොදු පෙරමුණක් යටතේ මුහුණ දීමට අදාල පියවර ගත යුතු බවත් ඒ සඳහා එකඟතාවයට පැමිණීම සම්බන්ධව යළි දෙපාර්ශවය අතර සාකච්ඡාවක් අද (22) සවස පැවැත්වීමට නියමිතව ඇත