Site icon Newshub

ලිංගික හිංසන සිදුවීමට වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයන් තිදෙනෙකු ගෙදර යවයි !

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන වලදී වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීරගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා කතානායක ජගත් වික්‍රමරත්න පසුගියදා ඊට අනුමතිය ලබා දී ඇත.

පාර්ලිමේන්තු සේවිකාවන්ට 2021 සහ 2022 කාල පරිච්චේදයේදී ලිංගික හිංසනයන් වීම සම්බන්ධයෙන් පුවත්පතක 2023 ජූලි 30 සහ 2023 අගෝස්තු 02 දින කරුණු වාර්තාවීමෙන් අනතුරුව එවකට කතානායකවරයාගේ ද උපදෙස් මත මේ සම්බන්ධවවිමර්ශනය කිරීම සදහා ත්‍රිපුද්ගල අභ්‍යන්තර විමර්ශන කමිටුවක් 2023.08.04 දින එවකට පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් පත් කරනු ලැබිණ.

මෙම කමිටුවේ විමර්ශන අතරතුර දී පාර්ලිමේන්තු සේවකයින් දෙදෙනෙකු වැඩ තහනමට ලක් කොට තිබූ අතර, එම විමර්ශන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය වෙත ලැබී ඇත්තේ 2023.08.23 වනදාය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සදහා එය නීතිපතිවරයා වෙත යොමු කරන ලද අතර, නීතිපති දෙපාර්තමේන්තුවෙහි උපදෙස් මත මීට අදාළ පරීක්ෂණය පොලිස්පතිතුමා මඟින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පවරා තිබිණ .

එම පොලිස් විමර්ශන අනුව තවත් පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට ගැනුණු අතර, 2024.01.30 දින එම සේවකයාද වැඩ තහනමට ලක් කිරීමටයි කටයුතු කර තිබිණ.

Exit mobile version