ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වූ බව කියන වාහන 29 යෙන් වාහන 13 ක් සම්බන්ධව කිසිම තොරතුරක් නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත දැනුම් දී ඇත.
ජනාධිපති ලේකම්වරයා සිදු කරන ලද පැමිණිල්ලකට අනුව වාහන 29 අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව මෝසමක් ගොනුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දීතිබේ.
වාහන අතුරුදහන් වීම පිළිබඳව මේ වන විට අතිරේක ලේකම්වරයෙකුගෙන් ප්රශ්න කර තොරතුරු රැස්කරගෙන ඇති බවත් වාහන විසි නමයෙන් වාහන10 ක් අවසන් වරට පාවිච්චි කරන ලද පුද්ගලයන්ගෙන් විස්තර සොයාගෙන තිබෙන අතර වාහන 13ක් සම්බන්ධව කිසිදු තොරතුරක් නැති බව අධිකරණය වෙත දැනිම් දී ඇත.
මෙම වාහන සම්බන්ධ ලිපිගොනු හුවමාරු වී ඇත්ද යන්න රටේ සියලු පළාත් වලට අයත් පළාත් පාලන ආයතන වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු විමසා තිබේ.
තවදුරටත් මේ පිළිබඳ විමර්ශන සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගකළ කොටුව මහේස්ත්රාත් නිළුපුලී ලංකාපුර මෙනවිය විමර්ශනවලට අදාල ප්රගතිය දැනුම් දීම සඳහා මාර්තු මස 12 වැනි දින නඩුව කැඳවන ලෙස නියෝග කළාය.