Site icon Newshub

විපක්ෂයේ ඉන්න කොට අපිත් එක්ක ඉල්ලපු 20,000ක වැටුප් වැඩිවීම දැන් දෙන්න – වෘත්තීය සමිති නායකයෝ ආණ්ඩුවට කියයි

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරු එදා විපක්ෂයේ සිට ඉල්ලා සිටි රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 20,000කින් වැඩිවීම 2025 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ යුතු බව වෘත්තිය සමිති පවසති.

වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරු බලයට පත්වීමට පෙර රාජ්‍ය සේවක වැටුප රුපියල් 20,000 කින් වැඩි කරන ලෙස ඉල්ලා පාරට බැස උද්ඝෝෂණ දියත් කළ අයුරු වෘත්තිය සමිති නායකයෝ සිහිපත් කරති.

ඔවුන් 20,000 වැටුප් වැඩිවීම ඉල්ලා මේ වන විට මාස කිහිපයක් ගතව ඇති බවත් ඒ කාලය තුළ භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ ගොස් ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණපා සිටින තත්ත්වය හමුවේ අවම වශයෙන් 20,000 වැටුප් වැඩිවීම ලබාදිය යුතු බව වෘත්තිය සමිති නායකයෝ කිහිප දෙනෙක් පැවසූහ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර රාජ්‍ය සේවකයින් සඳහා වැටුප් වැඩි කරන බවට ලබා දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් සමස්ත වෘත්තිය සමිති ඒකාබද්ධ කර ගනිමින් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග වෙත යොමුවීමට සිදුවන බවත් ඔවුහු පැවසූහ.

රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැටුප් වැඩිවීම ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද එම වෘත්තිය සමිති නායකයෝ පවසති

Exit mobile version