Site icon Newshub

මාලිමා ආණ්ඩුව තවමත් ඉදිරියට යන්නේ රනිල් වික්‍රමසිංහ ශක්තිමත් කළ භාණ්ඩාගාරය නිසා – තලතා

මාලිමා ආණ්ඩුව තවමත් ඉදිරියට යන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කළ භාණ්ඩාගාරය නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය.

ඉදිරි අභියෝග ජයගෙන ජනතාවට යහපත් අනාගතයක් උදාකර දීමට නම් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ආණ්ඩුවක් පිහිට විය යුතු බවත් ඒ වෙනුවෙන් තම කාලය උපරිමයෙන්ම කැප කරන බවත් මහ ලේකම්වරිය පවසන්නීය.

තලතා අතුකෝරාළ මහත්මිය මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරකොත මන්දිරයේදී අද (10 ) පෙරවරුවේ එ.ජා.ප මහ ලේකම් ධූරයේ වැඩ කටයුතු ආරම්භ කරමිනි.

පක්ෂ මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී සිය ධූරයේ වැඩ කටයුතු ආරම්භ කළ තලතා අතු කෝරාල මහත්මිය එහි සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් තවදුරටත් මෙසේද කීය.

මුලින්ම මම ලක්වාසී සියලුදෙනාට නීරෝගී 2025 වර්ශයක් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මාගේ පූර්ණ කෘතවේදීත්වය පළ කරනවා මා ගැන විශ්වාසයක් තබා මෙවැනි භාරධුර තනතුරක් මා හට ලබාදීම ගැන. මම හිතන්නේ එතුමාගේ බලාපොරොත්තුව තමයි මේ පක්ෂය ඉක්මනින්ම නැවතත් ජයග්‍රාහී පක්ෂයක් බවට පත් කිරීම.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලක්වාසී සියලුම ජනතාවට අමාරුම වේලාවක මේ රට බාර අරගෙන නිරාආහාරව සිටි ජනතාවගේ කුස පුරවන්න කටයුතු කළා. ඒ වගේම පෝලිමේවල දුක් විඳි ජනතාව නැවත ගෙවල්වලට පිටත් කර ඇරියා. බංකොලොත් වුණු රටක් ඉතාමත් කෙටි කාලයක් තුළ බංකොලොත්භාවයෙන් මුදව ගන්න පුලුවන් වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දක්ෂතාවය නිසයි.

මේ වෙලාවේ මේ තනතුර මට අභියෝගයක්. මොකද මේ තනතුර සෑම දෙයක්ම සම්පූර්ණ වෙලා තිබෙන අවස්ථාවක බාරගත් තනතුරක් නෙමෙයි. මේ අභියෝගව මම බාරගත්තේ විශාල කැමැත්තකින්. මොකද මගේ ජීවිත කාලය පුරාවට මට ආව අභියෝග මම සතුටින් බාරගත් කෙනෙක්. එක අතකින් මම සන්තෝස වෙනවා, කාලයකට කලින් මගේ එකම සහෝදරයා මේ තනතුර දරමින් රටේ සියලුම පාක්ෂිකයින්ගේ විශ්වාසය දිනාගෙන වැඩකටයුතු කළා.

මම දැක්කේ එතුමා දේශපාලන කරනවා විතරයි, එසේනම් ඒ ගමන් මගේම ගිහින් අපි සියලුදෙනාම එකතුවෙලා අපේ පාක්ෂිකයේ විතරක් නෙමෙයි, රටේ පීඩාවට පත්වෙලා ඉන්න සියලුම දෙනා වෙනුවෙන් යහපතක් කරන්න තමයි අපේ බලාපොරොත්තුව.

ඒ වගේම මම විශේෂයෙන්ම මතක් කරන්නට ඕන අපි සියලුදෙනා, මේ පක්ෂයේ දැවැන්ත නායකයින් ගණනාවක් ඉන්නවා මේ සියලුදෙනාම එකට එකතුවෙලා ජයග්‍රාහී පක්ෂයක් රටතුළ නැවත වරක් නිර්මාණය කරන්න අපි කැපවිය යුතුයි. විශේෂයෙන්ම මේ පක්ෂය ජයග්‍රහණය කරනවා කියන්නේ සමස්ථ රටේම ජනතාව ජයග්‍රහණය කිරීමයි. අවුරුදු 76 ක එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තුළ පාක්ෂිකයින් පමණක් නොව සමස්ථ ලාංකික ජනතාවම ජයග්‍රහණය කෙරෙව්වේ මේ එක්සත් ජාතික පක්ෂයයි. ඉතින් මේ අවස්ථාවේ ඒ දැවැන්ත පක්ෂයේ මහලේකම් ධූරය බාරගෙන පක්ෂයත් රටත්, ජනතාවත් දිනවන අභියෝගය මම බාරගත්තා කියන පණිවිඩය තමයි දෙන්නේ.

මේ කටයුත්තේදී රනිල් වික්‍රමසිංහ නායකතුමන්ගේ පූර්ණ ආශිර්වාදය තිබෙනවා. ඒ වගේම අපෙන් කැඩිලා වෙන්වෙලා ගිහින් ඉන්න අය වගේම ඈත්වෙලා ඉන්න අය මේ සියලුදෙනාවම එකතු කරගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් යමක් කරන්න තමයි අපේ ප්‍රථම රාජකාරිය විය යුත්තේ.

ප්‍රශ්නය –
ඔබතුමිය පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණේ මේ පක්ෂ දෙක එකතුවිය යුතුයි කියන ස්ථාවරයේ ඉඳන්. දැන් ඔබතුමියට ඒ සඳහා පක්ෂයේ මහලේකම්තුමිය විදිහට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර –
මම මේ ගැන කිව්වේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණ අවස්ථාවේදී නෙමෙයි. මම සමගි ජනබලවේගය විදිහට වෙන් වෙලා දවස් 45 කට පස්සේ රනිල් වික්‍රමසිංහ නායකතුමන් හම්බවෙලා මගේ ස්ථාවරය ප්‍රකාශ කළා. ඒ සඳහා මෙතනම තිබෙනවා අවශ්‍ය සාක්ෂි, මොකද මගේ නිවසේදී තමයි සමගි ජනබලවේගය ලේකම්තුමා වන කබීර් හෂිම් මහත්මයා සමග සාකච්ඡා ආරම්භ කලේ.

ඒ සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මැතිතුමා සහභාගී වුණා. සාගල රත්නායක මැතිතුමා සහභාගී වුණා. ඉතින් මේක මේ හදිස්සියේ සිදුවුණු දෙයක් නෙමෙයි. හැබැයි ඒ වෙලාවේ මාව පාර්ලිමේන්තුවට පත් කරලා යැව්වේ සමගි ජන බලවේගය පක්ෂයයයි. ඒ වෙලාවේ මට වගකීම්ක් තිබුණා ඒ පක්ෂය තුළ ඉඳගෙන මා වෙනුවෙන් සහ පක්ෂය වෙනුවෙන් ඡන්දය දුන් අය ආරක්ෂා කරන්න.

නමුත් මම දිගින් දිගටම ප්‍රකාශ කළා, මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕන කියලා. ඒ නිසා මම ඒ කරතව්‍යය අතහරින්නේ නැහැ. මොකද සමගි ජනබලවේගය කියන්නේ අමුතු පක්ෂයක් නෙමෙයි. ඒකේ ඉන්න සියලුදෙනාම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදිහට හිටපු සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි ඒ පක්ෂය හදලා තියෙන්නේ. ඒ නිසා අපි ඒකේ ඉන්න සියලුදෙනාටම මේ වෙලාවේ විවෘත ආරාධනාවක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මොකද රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිසිම තහනමක් දාලා නෑ ඒ වෙනුවෙන්. මොකද එහෙම තහනමක් දාලා තිබෙනවානම් මාව නැවත මේ පක්ෂයට එකතු කරගන්නේ නෑනේ.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් තමයි එදා මම පාර්ලිමේන්තුවෙන් ඉවත් වුණේ. මොකද මම විශ්වාස කරනවා එතුමා එදා ජනාධිපතිධුරය බාර නොගත්තා නම් මේ රට තාමත් පෝලිමේ යුගයක. වර්තමාන ආණ්ඩුව රට බාරගෙන දින 100 ක් වුණත් ඔවුන් කරගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙල. ඒ විතරක් නෙමෙයි ඔවුන් රාජ්‍ය වියදම් පවත්වාගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පුරවපු භාණ්ඩාගාරයේ සල්ලි වලින්. ඒ නිසා පක්ෂ පාට භේද අමතක කරලා රටට යහපතක් කරන්න මම සියලු පක්ෂවලට ආරාධනා කරනවා.

Exit mobile version