ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමට සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කර ඇත.
සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව පසුගියදා රැස්වූ අතර එහිදී ඉදිරි මැතිවරණ වලට මුහුණ දීම මෙන්ම පැවති මැතිවරණ පරාජයට පත් වීම පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරිණි.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කළමනාකරණ කමිටුවේ වැඩි අවධානයක් යොමු කෙරුණේ ඉදිරි මැතිවරණ වලදී තම මව් පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සම්බන්ධවය.
ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරග කිරීමට තීරණය කළ කළමනාකරණ කමිටුව එම කටයුතු සැලසුම් කිරීම හා ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පත් කිරීමට ද එහිදී තීරණය කරනු ලැබීය.
සමගි ජන බලවේගය පසුගිය මැතිවරණ පරාජයට පත් වූ හේතු සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති ඉම්තියාස් බකිර්මකර් මහතා නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ඒ අනුව සිදුවූ වැරදි නැවත සිදු නොවීමට වගබලා ගැනීම සඳහා සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති ඉම්තියාස් බාකිර් මාකර්, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ කබීර් හෂීම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද මෙහිදී පත් කරනු ලැබීය.