Site icon Newshub

ඇෆ්ගනිස්ථානය සමඟ ක්‍රීඩා කිරීමෙන් වලකින්න – දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඇමති ඉල්ලයි!

ඉදිරියේදී ඇරඹෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා කිරීමට නියමිත තරගය ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙස දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍ය ගේටන් මැකෙන්සි එරට ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වේ.

ඇෆ්ගනිස්තානය තුළ කාන්තාවන්ට සිදුවන හිංසනයන්ට එරෙහිව ලොව පුරා එල්ලවන විරෝධතාවන්ට සහාය පළකරමින් ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2021 වසරේ අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් පාලනය සතුවීමත් සමග එරට තුළ කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙසින් උල්ලංඝනය වෙමින් තිබේ.

පාකිස්තානයේ සත්කාරකත්වය යටතේ පැවැත්වෙන මෙවර ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව මූලික වටයේදී එකම කාණ්ඩයෙන් ක්‍රීඩා කරනු ලබන අතර එම තරගය පෙබරවාරි 21වනදා කරච්චි හිදී පැවැත්වීමට නියමිතව ඇත.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍යවරයා සිය තීරණයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ තම යෝජනාව සම්බන්ධයෙන් අනෙකුත් රටවල ක්‍රිකට් ආයතන සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එකඟවනු ඇති බවයි. ඇෆ්ගනිස්තානය සමගින් දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරනවාද…නැතිද ? යන්න පිළිබඳව අවසන් තීරණය ගැනීම තමන් සතු වගකීමක් නොවන බව පවසන හෙතෙම ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ බලය ඇත්තේ තමන්ට නම්, තමන් නිසැකවම ඇෆ්ගනිස්තානය සමගින් ක්‍රීඩා නොකරන බව පවසයි.

Exit mobile version