Site icon Newshub

බස් හා ත්‍රී රෝද අලංකරණය ගැන මෝටර් රථ දෙපාර්තමේන්තුව කළ අනාවරණය

බස් හා ත්‍රී රෝද රථවල අමතර උපාංග සවිකර අලංකරණය කර ඇති බවට රට තුළ දැඩි ආන්දෝලනයක් හටගෙන තිබුණද මෙතෙක් එලෙස අලංකරණය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ වාහන සියයකටත් අඩු සුළු සංඛ්‍යාවක් බව එම දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

මෝටර් රථයක් අලංකරණය කිරීමෙන් පසු එය ධාවනය කළ හැකි වන්නේ මෝටර් රථ පරීක්ෂකවරයෙකු ලවා අදාළ මෝටර් රථය පරීක්ෂා කර ලියාපදිංචි කිරීමේ සහතිකයට නවීකරණය කළ කොටස් ඇතුළත් කිරීමෙන් පසුව බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.

බස් රථවල අමතර උපාංග නීත්‍යානුකූලව සවිකර තිබෙන බව බස් සංගම් දිගින් දිගටම ප්‍රකාශ කළද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණයට අනුව මේවා නීත්‍යානුකූලව සවිකර ඇත්තේ වාහන ඉතා සුළු ප්‍රමාණයක බව හෙළි කරගෙන තිබේ.

බස් රථ සහ ත්‍රී රෝද රථවල සවිකර ඇති මෙම අමතර උපාංග ඉවත් කිරීම සඳහා පොලිසිය පියවර ගෙන තිබුණද ඊට විරෝධය පළ කරමින් බස් සංගම් වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම්කර තිබිණි.

පොලිස්පතිවරයා සහ සංගම් අතර ඊයේ පැවති සාකච්ඡාවේදී එම අමතර උපාංග ඉවත් කර ගැනීමට මාස තුනක කාලයක් ලබාදීම හේතුවෙන් වැඩ වර්ජනය අත්හිටුවීමට බස් සංගම් තීරණය කරන ලදී.

කෙසේ වෙතත් රට තුළ මෙවැනි ආන්දෝලනයක් ඇතිවුවද මෙවැනි අමතර කොටස් නීත්‍යානුකූලව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ සවිකර ඇත්තේ බස් සහ තීරෝද රථ අනුපහක් වැනි ඉතා සුළු සංඛ්‍යාවක බව එම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව අනාවරණය කරගෙන ඇති බව එහිනිලධාරියෙක් පැවසීය.

Exit mobile version