වායු සමීකරණය කළ කාමරයක තනිවම සිට තමා නීති විභාගය ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළොත් මන්ත්‍රී ධූරයෙන් තමන් ඉල්ලා අස්වන බවත් එලෙස ඔප්පු කිරීමට නොහැකි වුවහොත් ඒ පිළිබඳව චෝදනා කළ වසන්ත සමරසිංහ මහතා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් නාමල් රාජපක්ෂ මහතා අභියෝග කළේය.
තම නීති උපාධිය සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා ඇතැම් අය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී මෙවැනි චෝදනා කරන බව පෙන්වා දුන්නේය.
නාමල් රාජපක්ෂ මහතා එල්ල කළ අභියෝගයට පිළිතුරු දෙමින් ඇමති වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ නාමල් රාජපක්ෂ මහතා නීති විභාගය ලියූ ආකාරය සම්බන්ධ සියලු තොරතුරු තමන් සතුව ඇති බවයි.
නාමල් රාජපක්ෂ මහතා නීති විභාගය ලියූ ආකාරය පිළිබඳව තොරතුරු මෙන්ම ඊට අදාළ වීඩියෝ පටයක් ද තිබෙන බව වසන්ත සමරසිංහ මහතා පැවසීය .
“ඔබ නීති විභාගය තනි කාමරයක සිට ලිව්ව බව රටම දන්නවා ? ඔබතුමා සමඟ විභාගයට ලිව්ව තුෂාර විජයරත්න තමයි මේ ගැන පැමිණිලි කළේ ඔබතුමා සමග විභාගයට ලිව්ව අනෙක් කෙනා කවුද කියා පරීක්ෂණයට ඇවිල්ලා කියන්න ඕන..” යයි වසන්ත සමරසිංහ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.