Site icon Newshub

පූජිත සහ නිලන්ත ගේ මූලික විරෝධතා සලකා බැලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ ව පවරා ඇති වන්දි නඩුකර පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කාලාවරෝධී වී ඇති බවට ඉදිරිපත් කළ විරෝධතාවය, මූලික නෛතික විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස සලකා බලන ලෙසට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් සිදු කරන ලද ඉල්ලීම මීගමුව දිසා විනිසුරු ලලිත් කංනන්ගර මහතා විසින් අද දින (11) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩු 182ක් විටින් විට පූර්ව නඩු විභාගයට ගත් අවස්ථාවේ දී එම නඩුවල හතරවන සහ පස්වන විත්තිකරුවන් වන හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තර්ක කර සිටියේ තම සේවාදායකයින් දෙදෙනාම පොලිස් නිලධාරින් වන නිසා ඔවුන්ට එරෙහිව පවරන ඕනෑම නඩුවක් පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදන අනුව අදාළ සිදුවීම සිදු වී මාස 3ක් තුළ පැවරිය යුතු බවයි.

කෙසේ වෙතත්, පැමිණිලිකරුවන් අදාළ නඩු පැවරීම බෝම්බ ප්‍රහාරය සිදු වී මාස තුනක් තුළ සිදු නොකිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් වන තම සේවාදායකයින්ට එරෙහි වන්දි නඩු මූලාරම්භයේදී ම නිෂ්ප්‍රභ කළ යුතු බවත් එම නීතිඥයින් විසින් මූලික විරෝධතාවයක් ලෙස ඉදිරිපත් කර තිබිණ.

එම මූලික විරෝධතාව සම්බන්ධයෙන් වන කාරණාව නඩු විභාගය මූලාරම්භයේ දී ම මූලික නෛතික ප්‍රශ්නයක් ලෙස සලකා විසඳිය යුතු බවට පූජිත ජයසුන්දර සහ නිලන්ත ජයවර්ධන විසින් පූර්ව නඩු විභාගයේ දී අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එම ඉල්ලීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ අතර ඔවුන් අවධාරණය කර සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ පොලිස් නිළධාරීන් ඇතුලු අනෙකුත් විත්තිකරුවන් වගකිවයුතු බව තම සේවාදායකයින් හට දැනගැනීමට ලැබුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ කටයුතු සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තාවලින් බවයි.

ඒ සම්බන්ධයෙන් දැනගත් පසු නියමිත කාලය තුළ සියලු නඩු පැවරීමට පැමිණිලිකරුවන් කටයුතු කර ඇති බවත් , ඒ අනුව විත්තිකරුවන්ගේ ඉල්ලීමට ඉඩ ලබා නොදෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් බවත් එම නීතිඥයන් පැවසීය .

මේ සම්බන්ධයෙන් වන නියෝගය ලබාදෙමින් මීගමුව දිසා විනිසුරු ලලිත් කන්නන්ගර ප්‍රකාශ කර සිටියේ විත්තිකරුවන්ගේ විරෝධතාවය නඩු විභාගය අතරතුර ඉදිරිපත් වන සාක්ෂි මගින් සනාථ කරගත යුතු වන කාරණාවක් බැවින් එය මූලික විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙස පිළිගත නොහැකි බවත්, ඒ අනුව නඩු විභාගය අවසානයේ දී එකී කාරණාව සලකා බැලිය හැකි බවත්ය.

ඒ අනුව මෙම නඩුව අනෙකුත් නඩු සමග විභාගයට නියම කිරීම සඳහා දෙසැම්බර් 13 වන දින කැඳවීමට ද දිසා විනිසුරුවරයා විසින් නියම කරනු ලැබිණ.

Exit mobile version