Site icon Newshub

සිලින්ඩර පාටියේ විරෝධතා මැද : ෆයිසර් ගේ නම ගැසට් කරයි !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා නම ගැසට් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවූ අතර ඉන් එක් මන්ත්‍රීධුරයක් සඳහා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ නම යෝජනා කිරීමට එම පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා කටයුතු කර තිබිණ.

එකී නම් කිරීම සිදුකර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සිලින්ඩරය සන්ධානයේ සෙසු පක්ෂ නායකයන්ගේ කිසිදු විමසීමකින් තොරව බවට විවේචන එල්ලවූ අතර එකී ධුරය භාරගැනීම සම්බන්ධයෙන් මේ වන විට එජාප ප්‍රබලයකු වූ රවි කරුණානායක සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක් ද පිහිටුවා ඇත.

එවැනි පසුබිමක ෆයිසර් මුස්තාෆා ගේ පත්කිරීම සම්බන්ධයෙන් ද එජාප සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විරෝධය දක්වා නිවේදනයක් නිකුත්කර තිබූ අතර සෙසු පක්ෂ නායකයන්ගේ කිසිදු විමසීමකින් තොරව සිදුකළ එම පත්වීමද ඔහු හඳුන්වා තිබුණේ දේශපාලන හොරකමක් ලෙසයි.

Exit mobile version