Site icon Newshub

Newshub පුවත වැඩ කරයි : විපක්ෂයේ ඇස් ඇරෙයි : කතානායකට එරෙහිව විශ්වාසභංගයක් !

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක අශෝක සපුමල් රන්වල ට එරෙහිව විශ්වාසභංගක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වෙයි.

මේ සම්බන්ධයෙන් අද (11) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා අදහස් දැක්වීය.

එහිදී මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන්ට ‘ ආචාර්ය’ තනතුරක් ඇති බවට රටේ උත්තරීතර ආයතනයක් වන පාර්ලිමේන්තුව මෙන්ම සිවිල් සමාජය ද මුලා කළ වරදට එරෙහිව විපක්ෂය එක් වී කතානායක අසෝක සපුමල් රන්වල ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සාකච්ඡා කරන බවයි.

හෙට (12) දිනයේ දී විපක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවත් එහිදී මෙම කාරණය සම්බන්ධයෙන් වැඩිවශයෙන් අවධානය යොමු කරන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය .

ඒ අනුව විශ්වාසභංග යෝජනාවක් කතානායකවරයාට විරුද්ධව ගෙන එන්නේ නම් සෙසු පක්ෂ සමග ද සාකච්ඡා ආරම්භ කරන බවද මන්ත්‍රීවරයා පැවසීය .

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පෙන්වාදී සිටියේ කතානායකවරයා වීමට පෙර අසෝක රන්වල විසින් මැතිවරණ ක්‍රියාවලියේ දී , මෙන්ම ඔහු පැවැත්වූ විවිධ දේශනවල දී ද තමන්ගේ නම ඉදිරියෙන් ‘ආචාර්‍යය’ යනුවෙන් යොදා ගැනීමට කටයුතු කර තිබූ බවයි. එසේම කතානායකවරයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම යෝජනා කරනු ලැබූ අවස්ථාවේ දී පවා ආමන්ත්‍රණය කර සිටියේ, ආචාර්ය අසෝක රන්වල යනුවෙන් බවත්, කිනම් හෝ අවස්ථාවක ඔහු හට ආචාර්‍යය උපාධියක් හිමි නොවන බව නිල වශයෙන් සනාථ වුවහොත් ඔහු සිදු කර ඇත්තේ රටක් නොමඟ යැවීමක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය .

කෙසේ වුවත් කතානායක අශොක රන්වල ගේ මේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැඩි විරෝධයක් ගෙන යන අතරේ, ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය ගුප්ත නිහැඬියාවක පසුවීම, විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ නිහැඬියාව ගැන බරපතළ විවේචනයක් එල්ල විය.

ඒ සම්බන්ධයෙන් newshub.lk වාර්තා කළ පුවත පහත දැක්වෙයි .

කථානායකගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්නය ගැන විපක්ෂ නායක නිහඬ ඇයි ? දෙන්නම එකම බෝට්ටුවෙද?

Exit mobile version