Site icon Newshub

ෆයිසර් ගියෙත් හොර පාරෙන් : සිලින්ඩර් නායකයන් දන්නෙත් නෑ 

ගෑස් සිලින්ඩරය යටතේ මෙවර මහා මැතිවරණයට තරග කර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකින් ඉතිරිව තිබූ මන්ත්‍රී ධුරය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා මහතාට ලබාදී ඇත්තේ ද එම පක්ෂයේ නායකත්වයේ අනුමැතියකින් තොරව බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය විසින් වන අතර එම නමද මැතිවරණ කොමිෂන් සභාව වෙත යෝජනා කර ඇත්තේ රවී කරුණානායක මහතාගේ නම යැවූ ආකාරයටම බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරිව තිබූ ජාතික ලෑස්ති මන්ත්‍රී ධූරයට හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ නම යෝජනා වී පක්ෂ නායකත්වේද අනුමැතිය ඇතිව මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට සියල්ල සූදානම් කර තිබියදී මුස්තාපා මහතාගේ නම හදිසියේ යවා ඇතැයි පැවසේ.

මේ සම්බන්ධව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන හවුල්කාර පක්‍ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරියෙක් කියා සිටියේ අද (10) උදේ වන විටත් තීරණය කර තිබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කංචන විජේසේකර මහතාගේ නම බවයි.

ඒ අනුව විජේසේකර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට සූදානම් කර තිබියදී මුස්තාපා මහතාගේ නම කිසියම් කණ්ඩායමක් විසින් යවා ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version