ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් “සිලෝන් ටී” ගෝලීය ප්‍රවර්ධනය හා අලෙවි ප්‍රවර්ධනය වෙනුවෙන් වූ නිර්මාණාත්මක මාධ්‍ය ප්‍රචාරණ වැඩසටහන් සඳහා ඉකුත් වසර කීපය තුළ රුපියල් 494,193,434 ක මුදලක් වැයකර තිබුණත් එම වැඩ සටහන් මේ දක්වා ප්‍රචාරණය කර හෝ ඵලදායීව භාවිතාකර නැති බව අනාවරණය වී තිබේ.
මෙම අනාවරණය සිදුකර ඇත්තේ ජාතික විගණන කාර්යාලය විසින් ඉකුත් වසරට අදාළව තේ මන්ඩලය වෙනුවෙන් නිකුත් කළ විගණන වාර්තාවක් මගිනි.
” සිලෝන් ටී” ගෝලීය ප්‍රවර්ධනය වෙනුවෙන් ප්‍රචාරණය සඳහා රුපියල් 174,332,138 ක මුදලක් වැයකර ඉංග්‍රීසි බසින් රූපවාහිනී වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමට හා එය වෙනත් විදේශීය භාෂාවන් කීපයකට පරිවර්තනය කර තිබුනත් එම දැන්වීම මෙතෙක් ප්‍රචාරය කර නැතැයි විගණන කාර්යාලය සඳහන් කරයි. එමෙන්ම මේ ප්‍රචාරණ කාර්යන් සඳහාම රුපියල් 39,832,808 ක් වැයකර තවත් නිර්මාණාත්මක කාර්යන් 31 ක් සකස් කර ඇතත් ඒවාද මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි විගණන වාර්තාවෙන් පෙන්වා දෙයි.
“සිලෝන් ටී” ගෝලීය ප්‍රවර්ධනය සහ මාර්ගගත තේ අලෙවිය සඳහා රුපියල් 172,939,768 ක් වැයකර නිර්මාණය කර තිබූ www.pureceylontea.com නැමති වෙබ් අඩවිය හා අනෙකුත් භාෂා පරිවර්තික වෙබ් අඩවිවලින් මෙම ප්රචාරක වැඩ සටහනේ අරමුණු ළඟාකර ගැනීම උදෙසා ඵලදායී කාර්යයක් සිදුව නැතැයි එය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවද විගණනය පෙන්වා දෙයි.
මෙම නිර්මාණාත්මක ප්‍රචාරණ කටයුතු සඳහා මාධ්‍ය සමීක්ෂණ හා මාධ්‍ය සැලසුම් සැකසීම වෙනුවෙන් රුපියල් 107,088,740 ක් වැයකර තිබෙන අතර එහෙත් එම කාර්යයන්ද වසර ගණනාවක් ගත වුවත් ක්‍රියාත්මක කිරීමට පියවරක් ගෙන නැති බවත් විගණනයේදී අනාවරණය වූ බව විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.