Site icon Newshub

ITAK මන්ත්‍රීවරු සහ ජනපති අතර කතාබහ වුනේ මොනවද? – සාකච්ඡාවේදී බලය බෙදා හැරීමට වැඩි ඉඩක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලෙස බලය බෙදා හැරීම සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය අතර පැවති සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පැවසීය.

ජනාධිපතිවරයා සහ ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නියෝජිතයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (04) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මේ බව සඳහන් කළ මන්ත්‍රීවරයා ඉදිරියේදී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බවද අනාවරණය කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කිරීමට සිදුවූයේ ජාතිවාදය නැති කිරීම සඳහා මිස වෙනත් අරමුණකින් නොවන බවත් මින් ඉදිරියට එම පනත පාවිච්චි කිරීමට අදහස් නොකරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළ බව රාසමානික්කම් මහතා පැවසීය.

දැනට සිටින දේශපාලන සිරකරුවන් ඇප මත මුදා හැරිය හැකිද යන්න කෙරෙහි අවධානය යොමු කරන බවට ද ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේදී බලය බෙදීම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම, ඉඩම් නිදහස් කිරීම, දේශපාලන විසඳුමක් ගෙන ඒම, අතුරුදහන් වුවත් නිදහස් කිරීම, ඉඩම් ප්‍රශ්න ඇතුළු උතුරේ ජනතාවට බලපාන ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් පිළිබඳව අවධානය යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

Exit mobile version