Site icon Newshub

රාජ්‍ය සේවයේ රැකියාවලින් ලක්ෂ 5 1/2 ක් ඉවත් නොකළහොත් අනාගතය අනතුරේ.! – ජනාධිපති ජ්‍යේෂ්ට උපදේශක හුලංගමුවගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 13ක රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ඉදිරියේදී 750,000 දක්වා අඩුකිරීමට සිදුවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව පවසයි.

ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය සේවයක් දැරීමට නොහැකි වනු ඇති අතර නුදුරේදීම රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බව ඊයේ (02) BMICH හි පැවති BARA සම්මාන උළෙලේදී ඒ මහතා පැවසීය.

ඉදිරි වසරවලදී භාණ්ඩාගාරයට වත්මන් වියදම් මට්ටම් පවත්වා ගැනීමට නොහැකි වනු ඇතැයි පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක දුමින්ද හුලංගමුව කියා සිටියේ, රටේ දැනට රාජ්‍ය අංශයේ ශ්‍රම බලකායේ සිටින මිලියන 1.3 රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව 750,000 දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බවයි.

“අපි ඉදිරියට යන විට, භාණ්ඩාගාරයේ තිබෙන අරමුදල් ඉදිරි වසරවලදී ප්‍රමාණවත් නොවන බව මට ඔබට කියන්න පුළුවන්. විශාල රාජ්‍ය අංශයක් පවත්වාගෙන යාමට අපට හැකියාවක් නෑ. ඒ නිසා අපි රාජ්‍ය සේවාවන් තාර්කික කර, සේවකයින් ගණන අඩුකර ඩිජිටල්කරණය කරා ගමන් කළ යුතුයි,”

“අපට අවශ්‍ය වන්නේ මිලියන 1.3ක් වන සේවකයන් අවම වශයෙන් 750,000 දක්වා අඩු කර කාර්යක්‍ෂමතාවය සඳහා ඉතිරි කාර්ය මණ්ඩලයේ තරඟකාරී වැටුප් ගෙවීමටයි. අපි මෙම සේවාවන් ඩිජිටල්කරණය කිරීම ආරම්භ කළ යුතු අතර බදු ගෙවන්නන්ගේ අරමුදල් ඵලදායි ලෙස භාවිතා කිරීමට වග බලා ගතයුතුයි”ඔහු වැඩිදුරටත් පැවසීය.

රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ දුර්වල ක්‍රියාකාරිත්වයට වැටුප් ප්‍රමාණවත් නොවීම ද බලපාන බැවින් රාජ්‍ය සේවා ආයතනවල අකාර්යක්ෂමතාව පිළිබඳ මහජන මතය සාධාරණ හා අසාධාරණ පැත්තක් ඇති බව හුලංගමුව මහතා වැඩිදුරටත් කියා සිටියා.

සමස්ත ආයතනික කාර්ය සාධනය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය අංශයේ සේවකයින්, විශේෂයෙන් මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සේවකයින්, රාජ්‍ය වත්කම් උපයාගත හැක්කේ කෙසේදැයි සොයා බැලිය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

“රාජ්‍ය සේවකයන්ට අකාර්යක්ෂම සේවාවන් හඳුනා ගැනීමටත්, ඒවා වළක්වා ගැනීමට සහ කාර්යක්ෂම කිරීමටත් හැකි ආකාරය බැලිය යුතුයි. අපි කියන්නේ නැහැ පුද්ගලීකරණය කරන්න කියලා. අපි කියන්නේ වැඩි ලාභයක් උපයා ගැනීමටත් වඩා හොඳ කාර්යක්‍ෂම සේවාවක් සමඟින් මහජනතාවට සේවය කරන්න කියලයි.” ඔහු ප්‍රකාශ කළේය.

මුලාශ්‍රය Daily Mirror

Exit mobile version