Site icon Newshub

පුංචි ඡන්දෙට යළි නාමයෝජනා කැඳවන්න – විපක්ෂයෙන් යෝජනාවක්

2022 වසරේ පළාත් පාලන මැතිවරණයට ලබා දී තිබෙන නාම යෝජනා අහෝසි කර ඒ වෙනුවට නැවත නාමයෝජනා කැඳවිය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්‍ෂය සැලසුම් කර ඇත.

නාම යෝජනා අහෝසි කළ යුතු බවට විපක්ෂයේ පක්ෂ නායකයින් ගනු ලැබූ තීරණයකට අනුව ඉදිරියේදී මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂයේ පක්ෂ නායකයෙක් පැවසීය

2022 වසරේ පළාත් පාලන මැතිවරණයට ඒ ඒ පක්ෂවලින් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් විශාල පිරිසක් මේ වන විට වෙනත් පක්ෂ සමග එකතුවී සිටීමත්, බොහෝ දෙනෙක් මිය ගොස් සිටීමත්, ඇතැම් අය විදේශගතව සිටීමත්, එම අපේක්ෂකයින් 40 ට වැඩි පිරිසක් මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස තේරී පත්ව සිටීමත් වැනි කරුණු ගණනාවක් නිසා මෙම තීරණය ගත් බව එම පක්ෂ නායකයා සඳහන් කළේය.

දැනට භාරදී තිබෙන නාම යෝජනා වලට අනුව පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමේ දී දේශපාලන පක්ෂ වලට ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවනු ඇති බැවින් ඒ ගැටළු සියල්ල නිරාකරණය කර ගැනීමට හැකිවන්නේ අලුතෙන් නාමයෝජනා කැඳවීමෙන් පමණක් බව ඔහු කීය.

පැරණි නාම යෝජනා අහෝසි කර අලුතින් නාමයෝජනා කැඳවන ලෙස විපක්ෂයේ සියලු පක්ෂවල එකඟත්වයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන යෝජනාවට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version