Site icon Newshub

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ගැන අලුත්ම කතාව

පාර්ලිමේන්තුවේ හිටපු සහ දැනට සිටින මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප, තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.

මින් ඉදිරියට කිසිදු මහජන නියෝජිතයකුට සුඛෝපභෝගී වාහන කිසිවක් ලබා නොදීමටත් ඉන්ධන අඩු ප්‍රමාණයක් දහනය වන වාහනයක් පමණක් ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද තීරණය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කමිටුවක්ම පසුගියදා පත් කළ අතර වරප්‍රසාද සම්බන්ධව තීරණ ගැනීමේ දී එම කමිටුවේ නිර්දේශවලට මුල් තැන ලබාදෙන බව ඉහත නිලධාරියා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ලබා දුන් ගිනි අවි, ගිනි අවි පුහුණුව, වාහන පහසුකම සහ අනෙකුත් වරප්‍රසාද ලබාදීම සම්බන්ධව මෙතෙක් කිසිදු දැනුම්දීමක් කර නැති බවත් ඔවුන්ට අවශ්‍ය නිල නිවාස ලබාදීම සඳහා දැනටමත් කටයුතු කරගෙන යන බවත් අප කළ විමසුමකදී පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

ලබන මස තුන්වෙනිදාට පෙර මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ලබාදීම පිළිබඳව අවසන් තීරණයකට පැමිණීමට නියමිතව ඇත. ඒ සම්බන්ධව තවදුරටත් ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැඩි අවධානයක් යොමු කරනු ඇති බව ඉහත නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version