අධික වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (26) පෙ.ව. 04.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු වේ.
ඒ අනුව උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර, ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191ක් වේ. අම්පාර මහඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 149.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර දමන ප්‍රදේශයෙන් මිලීමීටර් 147ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
උතුරු, උතුරුමැද , මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ඉතා තද වැසි සහ තද සුළං අපේක්ෂා කරයි.
මේ අතර, දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
එම සංවිධානය පැවසුවේ අයහපත් කාළගුණයත් සමග කඳු ආශ්රිත ප්‍රදේශවල ජීවත්ව සිටින ජනතාව මෙන්ම මාර්ග භාවිත කරන රියදුරන් ඒ සම්බන්ධව අවධානයෙන් පසුවන ලෙසය.
අදියර 2 යටතේ අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ
බදුල්ල දිස්ත්‍රික්කය – මීගහකිවුල, පස්සර, හාලිඇල සහ බදුල්ල, මහනුවර දිස්ත්‍රික්කය – දෙල්තොට, ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපළාත, මාතර දිස්ත්‍රික්කය – විල්ගමුව, අඹන්ගඟ කෝරළය, නුවරඑළිය දිස්ත්‍රික්කය – හඟුරක්කෙත, වලපනේ.
අදියර 1 යටතේ විමසිලිමත් බවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ
බදුල්ල දිස්ත්‍රික්කය – හල්දුම්මුල්ල, ඌව පරණගම, ලුණුගල, ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කය – නාගොඩ, බද්දේගම, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කය – බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කය – පාතදුම්බර, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කය – යටියන්තොට, කෑගල්ල, බුලත්කොහුපිටිය, මාතර දිස්ත්‍රික්කය – රත්තොට, නාවුල, උකුවෙල, ලග්ගල පල්ලේගල, මාතලේ, මාතර දිස්ත්‍රික්කය – පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව කෝරළය, රත්නපුර දිස්ත්‍රික්කය – පැල්මඩුල්ල, ඉඹුල්පේ, කහවත්ත, ඕපනායක, රත්නපුර, බලංගොඩ.