Site icon Newshub

විදුලි ගාස්තු අඩුවෙයි ද ? IMF සාකච්ඡා අද

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අද (21) පෙරවරුවේ බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාවේදී විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙන්ම අදාළ ආයතනවල ක්‍රියාපටිපාටිය පිළිබඳව සාකච්ඡා සිදුකිරීමට නියමිත බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ද අදහස් ලබාගැනීමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය සකස් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශ ලේකම් කේ.ටී.එම්.උදයංග හේමපාල මහතා සඳහන් කර සිටියේය.

එම යෝජනාවලිය සකස් කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේ දී ඊට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පසුගිය ඔක්තෝබර් මස 24 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලියක් භාරදෙනු ලැබූ අතර එහිදි විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 6.6කින් අඩු කිරීමට යෝජනා කර තිබුණ ද එම ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දුන්නේය. මේ හේතුවෙන් නව යෝජනාවලියක් සකස් කර යළි කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබිණ.

Exit mobile version