Site icon Newshub

රවීව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන්න අපිට බලයක් නෑ – මැතිවරණ කොමිෂන් සභාව

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ රවී කරුණානායක මහතාට ලබා දී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු බලයක් නැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

යම් පුද්ගලයකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදීමෙන් පසු එය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේනම් එය වෙනස් කළ හැක්කේ අධිකරණයට පමණක් බව ඒ මහතා පෙන්වා දෙනවා.

රවී කරුණානායක මහතා බලහත්කාරයෙන් ලබාගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග කළ දේශපාලන පක්ෂ කිහිපයක්ම මැතිවරණ කොම්ෂන් සභාවෙන් සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් කොමිසමේ ඉදිරි පියවර කුමක්දැයි අප කළ විමසුමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂයක ලේකම් විසින් ජාතික ලැයිස්තුව සඳහා යම් පුද්ගලයෙකුගේ නමක් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළොත් එය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම හැර ඔහු පත්කර එවූ ආකාරය සොයා බැලීම කොමිසමේ වගකීමක් නොවන බව ද සමන් රත්නායක මහතා අවධාරණය කර සිටියේය.

Exit mobile version