Site icon Newshub

රවී පක්ෂයෙන් දොට්ට දැමීමට සූදානම් – මන්ත්‍රීකමත් අහිමිවෙන ලකුණු

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා රවී කරුණානායක මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පක්ෂයේ සෙසු නායකයින් එක්ව තීරණය කර ඇත.

මෙවර මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නීති විරෝධී ආකාරයට ලබාගැනීම හේතුවෙන් ඔහුව පක්ෂයෙන් නෙරපා හරින බව එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.

රවී කරුණානායක මහතා පක්ෂයෙන් නෙරපා හැරීමත් සමඟ ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත යොමු වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයද ඔහුට අහිමි කිරීමට අවශ්‍ය නීතිමය උපදෙස් මේවන විටත් ලබාගෙන තිබෙන බව එම ප්‍රකාශකයා අනාවරණය කළේය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන යන්න මහත්වරු ප්‍රමුඛ දේශපාලන පක්ෂ රැසක් මෙවර මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග කළේ ඒ ඒ පක්ෂ සමග ගිවිසුම් ඇති ඇති කරගෙන බවත් රවී කරුණානායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගෙන ඇත්තේ එම ගිවිසුම් කඩ කිරීමෙන් බවත් එම ප්‍රකාශකයා පැවසීය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය රවී කරුණානායක මහතාට ලබා දෙන ලෙස ඊට අදාළ ලිපිය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහ ලේකම්වරිය විසින් බව පවසන එම ප්‍රකාශකයා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සෙසු දේශපාලන පක්ෂ සමග ඇති කරගන්නා ලද ගිවිසුම් වලට අනුව ඇයට එලෙස නමක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බව ද පෙන්වා දුන්නේය.

Exit mobile version