Site icon Newshub

මහ මැතිවරණයට පොලීසිය සීරුවෙන්

මෙවර මහ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අද (12) දිනයේ සිට පොලිස් නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

දිවයිනේ මුළු ඡන්ද කොට්ඨාසවල පිහිටා ඇති ඡන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 64,000ක් පමණ පිරිසක් යෙදවීමට කටයුතු කරන බව තල්දූව මහතා පවසයි.

මුළු ඡන්ද කොට්ඨාස 13,314 සඳහා ඡන්ද මධ්‍යස්ථාන 13,383ක් පිහිටුවලා ඇති බවත් මෙම කාල සීමාව ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවන බව සඳහන් කරන තල්දූව මහතා‍, මැතිවරණය පැවැත්වෙන දිනයට හා පසු දිනයට හා අවශ්‍ය වුණොත් ඊට පසුවත්. පොලිස් නිලධාරීන් 64,000කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවද ⁣සඳහන් කර සිටී.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3,200ක් රාජකාරියේ යෙදවීම සඳහා සුදානම් කර ඇති බවත් සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227 දෙනෙක් මැතිවරණය සඳහා ඍජුවම සම්බන්ධ කර ඇති බවද පවසන තල්දූව මහතා‍, පොලිස් නිලධාරීන් පොරොත්තු සේවා නිලධාරීනුත් සමඟ 70,000කට ආසන්න සංඛ්‍යාවක් මැතිවරණය හා සම්බන්ධ වන බවද පෙන්වා දෙයි.

මීට අමතරව පොලිස් නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යොදාගැනීම නිසාවෙන් හිස්වන මරමස්ථාන ආරක්ෂාවට යුද හමුදා නිලධාරීන් 11,000කට ආසන්න සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කර ඇති බවත් යම් අවශ්‍යතාවයක් වුවහොත් යුද හමුදා නිලධාරීන් පොරොත්තු සේවයේ රැඳි සිටින බවද පවසයි.

නිදහස් සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවද නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටී.

Exit mobile version