Site icon Newshub

පාස්පෝට් ගන්න නව ONLINE ක්‍රමයක් – හදිසියේ විදෙස් ගමන් බලපත්‍රය අවශ්‍ය නම් කළ යුතු දේ මෙන්න

පාස්පොට් ලබා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගත හැකි බව ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය.

ඒ අනුව එලැඹෙන 6 වැනි දින සිට නව මාර්ග ගත ක්‍රමය ක්‍රියාත්මක වන බවද ඇය අද (04) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවාය.

“එක් දිනයක් ලබාගෙන වෙන් කරවා ගැනීම සිදුකරකොට යම් සීමා සහිත ප්‍රමාණයක් තමයි ටෝකන් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඉදිරි දිනයක් සඳහාත් ඔබට වෙන් කරවා ගැනීමට පුළුවන්.

ඒ අනුව ඔබට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට මේ වෙබ් අඩවිය හරහා දිනයක් වෙන් කරවා ගැනීමට පුළුවන්. ඒ අනුව නොවැම්බර් මාසේ 6 වැනිදා ඉඳලා මෙම මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ඒ නිසා නොවැම්බර් මාසේ 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණීමෙන් වළකින ලෙස අපි මහජනතාවට දැනුම් දෙනවා.

ඒ වගේම මේ වෙනකොට නොවැම්බර් මාසේ අග වෙනකන්ම අපි දින ලබා දීලා ඉවරයි. ඒ නිසා දෙසැම්බර් මාසේ මුල් දිනයක ඉඳන් ඔබට දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා.”

යම් අයෙකුට හදිසියේ විදෙස්ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවය පවතින්නේ නම් ඒ සඳහා එම සනාථ කළ හැකි ලිපි ලේඛන රැගෙන පැමිණිය හැකි බව ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය පැවසුවාය.

“ඇත්තෙන්ම හදිසි අයෙකුට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවට තිබුණාත් මේ ක්‍රමවේදය හරහා ගිහින් දිනයක් ලබා ගැනීම සිදුකළ යුතුයි. ඒ දිනය ලබා ගන්නකොට තමයි එයාට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ මම දිනයක් ලබා ගත්තා නමුත් ඊට කළින් මට විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ අවශ්‍යතාවට තියෙනවා කියලා. එහිදී ඔහුට දැඩි අවශ්‍යතාවට සනාථ කරන්න පුළුවන් ලියකිවිලිත් අරගෙන අපේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්න පුළුවන්.

අපි මේ වෙනකොටත් ඒ වෙනුවෙන් ස්වාධීන කමිටුවක් ස්ථාපිත කරලා තියෙනවා. ඒ කමිටුව හමුවට ඔහගේ අවශ්‍යතාවය සනාථ කරන්න පුලුවන් ලිපි ලේඛන රැගෙන පැමිණෙන් කියලා අපි කියනවා. එහිදී ඔහුට යම් ආකාරයේ සහනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි අවධාරණය කරනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විදිහට යම් ආකාරයේ ව්‍යාජ ලේඛන, කූඨ ආකාරයෙන් සැකසූ ලේඛන ඒ අවස්ථාවේදී ඉදිරිපත් කළොත් ඒ සම්බන්ධව අපි නීත්‍යානුකූලව කටයුතු කරන්න නොපමාවම සූදානමින් සිටිනවා. “

Exit mobile version