Site icon Newshub

ජාත්‍යන්තර සහාය රටට අවශ්‍ය ම මොහොතක ආණ්ඩුව ජාත්‍යන්තර වේදිකා තුනක් මඟහැරියා – ඩලස්

අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පසුගිය මාස එකහමාර ඇතුළත ප්‍රධාන ජාත්‍යන්තර වේදිකා 3ක් මඟහැර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

බොරැල්ල සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (ඔක්. 30) ඔහු මේ බව කියා සිටියා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය, පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ සමුළුව හා බ්‍රික්ස් රාජ්‍ය සමූහයේ නායක සමුළුව ආණ්ඩුව මඟහැර ඇති බව ත් එම සමුළු වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් පමණක් සහභාගී කර ඇති බව ත් ඒ මහතා පැවසීය.

රාජ්‍ය නායකයා, අගමැතිනි හෝ විදේශ ඇමැතිවරයා සහභාගී විය යුතුව තිබුණු මෙම සමුළු සඳහා ආණ්ඩුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය සහභාගී කරවූ බව ත් අලුත් ආණ්ඩුවක් ලෙස තමන්ගේ මතවාදය ජාත්‍යන්තරයට ගෙන යෑමට ලැබුණු අවස්ථාව මේ නිසා මඟහැරුණු බව ත් හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර සහාය රටට අවශ්‍ය ම මොහොතක නිර්මාණය වූ වේදිකාවලට ශ්‍රී ලංකාව සහභාගී නොවීම විදේශ ප්‍රතිපත්තියේ සොහොන් ලකුණක් ලෙස දකින බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආණ්ඩුවට චෝදනා කළේ ය.

මේ අනුව, රාජ්‍ය නායකයාගේ විශේෂ නියෝජිතයෙක් හෝ මෙම සමුළුවලට සහභාගී කරවීමට ආණ්ඩුවට අවස්ථාව තිබූ බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීවේ ය.

ආණ්ඩුව කුමන ආණ්ඩුවක් වුවද ජනාධිපතිවරයා කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළ ද ඉතිහාසයේ කිසි ම දිනයක ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අභියෝගයට ලක්වී නොමැති බව ත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

වර්තමාන රජය අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තියට සමගි ජන සන්ධානය විරෝධය පළකරන බවත් අලහප්පෙරුම මහතා තවදුරට ත් සඳහන් කළේ ය.

Exit mobile version