Site icon Newshub

ඉන්දු – ලංකා පාලමේ ඉදිකිරීම් නුදුරේදීම ඇරඹෙන ලකුණු

ඇමරිකානු ඩොලර් බිලියන 5 ක වියදමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ඉදිකිරීමට නියමිත දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ සාකච්ඡා අවසන් අදියරේ පවතින බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.

2024 පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව චීන බලපෑම මැඩපැවැත්වීම සඳහා ඉන්දියානු උත්සාහය මත ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශයට පත් කරන ලද පළමු විශාල ද්විපාර්ශ්වික යටිතල පහසුකම් ව්‍යාපෘතිය මෙයයි

ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ සහකරු වන අතර විශාලතම සෘජු විදේශ ආයෝජන (FDI) දායකයෙකි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආයෝජන 2021 දී ඩොලර් මිලියන 142 ක් පමණ විය.

“පසුගිය මාසයේදී මම ඉන්දියාව සමඟ නවදිල්ලියේ රැස්වීමකට සහභාගී වූ අතර, අපි ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය අතර අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග සම්බන්ධතාවය ස්ථාපිත කිරීමට යනවා,” බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති “මින්ට්” වෙබ් අඩවිය වෙත පවසා තිබේ.

රටවල් දෙකේම ව්‍යාපාරිකයින්ට වැඩි මුදලක් ගෙවීමට සිදුවන නිසාත්, මාර්ග හා දුම්රිය සම්බන්ධතා සමඟ දෙපාර්ශවයටම සහය ලබා ගත හැකි නිසාත් මෙය සැලසුම් කෙරෙන බව සහ එය යුරෝපයේ සහ අනෙකුත් රටවල් සමඟ වෙළෙඳාමට උපකාර වන බැවින් ඉන්දීය ව්‍යාපාරිකයන්ටත් ශ්‍රී ලංකාවෙන් යම් ප්‍රතිලාභ ලබාගන්න හැකි බව චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රජය 2002 වසරේ ඉන්දියාවේ තමිල්නාඩුවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ මන්නාරම දූපතේ පිහිටි තලෙයිමන්නාරම ගම්මානය අතර ගොඩබිම් පාලමක් යෝජනා කර ඒ සඳහා ගිවිසුමක් අත්සන් කළේය.

ගිවිසුමට අනුව පෝක් සමුද්‍ර සන්ධියේ දෙපස ආර්ථික ප්‍රතිලාභ ලබා දෙමින් මාර්ග සහ රේල් පාලම් සම්බන්ධතා සංවර්ධනය කිරීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු තමිල්නාඩු රජය ගොඩබිම් පාලම ඉදිකිරීමට විරුද්ධ විය.

ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම අතර මාර්ග සහ දුම්රිය සම්බන්ධතාවයක් සඳහා මූල්‍යකරණය සඳහා පූර්ව ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරන ලෙස ඉන්දියානු ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටි විට 2015 දී සාකච්ඡා නැවත ආරම්භ විය. එහෙත් මේ වනවිට ත්‍රිකුණාමලය දක්වා රේල් හා මාර්ග සම්බන්ධකයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් දන්වා සිටියේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාර්ග හෝ දුම්රිය මාර්ගයෙන් ගොඩබිම් සම්බන්ධයක් නොමැත. ශ්‍රී ලංකාවට ආසන්නතම ඉන්දියානු නගරය වන ධනුෂ්කොඩි හි දුම්රිය ස්ථානයක් තිබූ නමුත් මෙය 1964 දී සුළි කුණාටුවකින් සේදී ගියේය. 1966 දක්වා කෙටි බෝට්ටු සවාරියක් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සහ ඉන්දියාවේ ධනුෂ්කොඩි දුම්රිය ස්ථාන සම්බන්ධ කළේය.

ව්‍යාපෘතියේ පිරිවැය තවමත් අවසන් කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කළ යුතුව ඇති බව සහ එය ඩොලර් බිලියන 5 කට ආසන්න යැයි ඇස්තමේන්තු කර ඇති ඇති බවත් පාරිසරික නිෂ්කාශනය සඳහා යම් අනුමැතියක් ලබා ගත යුතු බවත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කියා සිටි.

මේ හරහා ගමන් ගන්නා නැව් බාධාවකින් තොරව ගමන් කිරීමට හැකි වන පරිදි පාලම් සහ දිය යට උමං මෙම ව්‍යාපෘතියට ඇතුළත් විය හැකි බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග, වරාය, නාවික හා ජල මාර්ග, දුම්රිය, විදේශ කටයුතු සහ පරිසර අමාත්‍යාංශවල ප්‍රකාශකයන් සහ ලේකම්වරුන් වෙත යවන ලද ප්‍රශ්නවලට පිළිතුරු නොලැබුණ බව ද “මින්ට්” වාර්තා කර තිබේ.

මුලාශ්‍රය : mint 

Exit mobile version