Site icon Newshub

රට සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් මිදිලා නැහැ – අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණ රැක ගැනීම වැදගත් – IMF

ශ්‍රී ලංකාව මෑත කාලයේ මුහුණදුන් දරුණුතම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එකඟ වී ඇති වැඩසටහනේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් ඒ බව පැවසුවේ සැප්තැම්බර් 21 පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි ඇති එකඟතා සම්බන්ධයෙන් නැවතත් සාකච්ඡා ආරම්භ කිරීමට හැකියාවක් තිබේ දැයි මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“වැඩසටහනේ ප්‍රගතිය ශක්තිමත්. ප්‍රතිසංස්කරණ උත්සාහයේ ප්‍රතිඵල ලැබෙනවා. ආර්ථික වර්ධනය සුබදායි වෙලා. උද්ධමනය අඩුවෙනවා. සංචිත, ජාත්‍යන්තර සංචිත වර්ධනය වෙනවා. ආදායම් ශක්තිමත් වෙනවා. නමුත් සමහර අවදානම් තවමත් තියෙනවා. ඒ නිසා ප්‍රතිසංස්කරණ තිරසරව පවත්වාගෙන යාම වැදගත්.”

ජූලි කොසැක් වැඩිදුරටත් පැවසුවේ, “පළමුවෙන්ම, සඳහන් කළ යුතුයි, එළැඹෙන මැතිවරණය, ඇත්ත වශයෙන්ම එය ශ්‍රී ලංකා ජනතාව තීරණය කළ යුතු දෙයක්. ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුතම අර්බුදයකින් ගොඩ ඒමට IMF වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීම ප්‍රමුඛ කරුණක්. රට සම්පූර්ණයෙන්ම අර්බුදයෙන් මිදිලා නැහැ. එබැවින් අමාරුවෙන් ලබාගත් ජයග්‍රහණ රැක ගැනීම වැදගත්,” යනුවෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළ අතර එහි දෙවැනි සමාලෝචනය සාර්ථකව නිමකර එම විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය මගින් ඩොලර් බිලියන 336ක් සඳහා ප්‍රවේශය පසුගිය ජූනි මාසයේදී ලැබුණි.

Exit mobile version