Site icon Newshub

ටයිම්ස් උසස් අධ්‍යාපන පාසල ජනපති අතින් විවෘත කෙරේ

තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නව අධ්‍යාපන ආයතන රැසක් ඉදිරියේ දී රට තුළ ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ “Times School of Higher Education” උසස් අධ්‍යාපන පාසල සමාරම්භය වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අද (12) පෙරවරුවේ පැවැත්වුණු උත්සවය අමතමිනි.

සීමාසහිත විජය පුවත්පත් සමාගමට අනුබද්ධ ආයතනයක් ලෙස ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනය ආරම්භ කර තිබෙන අතර විදේශීය විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන තුනක් සමඟ ඒකාබද්ධව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව මෙහි අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යනු ලබයි.

ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ පුළුල් පරාසයක රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපන පාඨමාලා මෙහි පවත්වාගෙන යනු ලබන අතර ඒ අනුව සහතික පත්‍ර, ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම ඩිජිටල් ඇකඩමිය හරහා වෘත්තීය නිපුණතා සංවර්ධන වැඩසටහන් හා උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් මෙහි පවත්වාගෙන යනු ලැබේ.

විජය පුවත්පත් සමාගම විසින් පත් කරන ලද ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් උපදේශක මණ්ඩලයක් විසින් ටයිම්ස් උසස් අධ්‍යාපන ආයතනයේ කටයුතු මෙහෙයවනු ලබනයි. ඉදිරියේදී තවත් විදේශ විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ වෙමින් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම අරමුණ බව මෙහි පාලන අධිකාරිය සඳහන් කරයි “Times School of Higher Education” උසස් අධ්‍යාපන ආයතනයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආණ්ඩුවෙන් මුදල් ලබා දෙන බවයි. එසේම රට තුළ ඇතිවන ඉදිරි ආර්ථික දියුණුවත් සමඟ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නව රැකියා අවස්ථා 100,000ක් පමණ නිර්මාණය වන බව සඳහන් කළ ජනාධිපතිවරයා එම කටයුතුවලදී මෙවන් නව අධ්‍යාපන ආයතන බිහිවීම ඉතා වැදගත් බවද පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

වර්තමානයේ අප බලාපොරොත්තු වන නවීන අධ්‍යාපන ක්‍රමයට අයත් ආයතනයක් වන ටයිමිස් උසස් අධ්‍යාපන විද්‍යායතනය අද මා විවෘත කළා. විශේෂයෙන්ම උසස් පෙළ විභාගය සමත් වීමෙන් පසුව ඩිප්ලෝමා හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට අධ්‍යාපන අවස්ථා සලසා දීම මෙම විද්‍යායතනය තුළින් බලාපොරොත්තු වෙනවා.

අපේ රටේ අනාගත දියුණුවට අපි අපනයන ආර්ථිකයකට යොමු වෙනවා නම් සහ අප 21 වැනි සියවසේ මැද භාගයේ අනාගතය දෙස බලනවා නම් නව දැනුම අවශ්‍යයි.

එම නිසා මෙවැනි ආයතන ඉදිරියේදී තවත් අවශ්‍ය වෙනවා. මෙම ආයතනයට ඩිජිටල් ඇකඩමියක් ද ඇතුළත් වෙනවා. මෙම අධ්‍යාපන ආයතන මඟින් අපේ රටේ තරුණ තරුණියන්ට විශාල ප්‍රයෝජනයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

තරුණ තරුණියන් 50,000කට පිළිගත් ආයතනයක වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට ආණ්ඩුවෙන් මුදල් ලබාදීමට අප යෝජනා කර තිබෙනවා. එම පුහුණුව ලබාදීම සඳහා මෙවැනි ආයතන පිළිගත් ආයතන බවට පත් කිරීමට අපට හැකියාව පවතිනවා. දැනට පවතින පුහුණු ආයතනවලට අමතරව මෙම වැඩසටහන අප ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඉදිරි වසර කිහිපය තුළ රටේ සිදුවන දියුණුවත් සමඟ ආයෝජන අවස්ථා ඉහළ ගොස් නව කර්මාන්ත ආරම්භ කෙරෙන විට රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ නව රැකියා අවස්ථා 100,000ක් පමණ ඇතිවෙනවා.

ඒ සඳහාත් මෙවැනි ආයතවල අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම අප ඇති කිරීමට බලාපොරොත්තු වන ඩිජිටල් ආර්ථිකය සඳහා මෙවැනි ආයතන අවශ්‍ය වෙනවා. එනිසා අපේ රට තුළ තිබෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන මෙවැනි අධ්‍යාපන ආයතන සංඛ්‍යාව වැඩි කිරීමටත්, මෙරට තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා සඳහා යොමු වීමට අවශ්‍ය පහුණුවක් ලබාදිමටත් අප බලාපොරොත්තු වෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (H. E. David Pine) මහතා ඇතුළු විදේශීය අධ්‍යාපන ආයනවල නියෝජිතයන් ද, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ද, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයින්, ටයිම්ස් උසස් අධ්‍යාපන පාසලේ අධ්‍යක්ෂ ඉංජිනේරු ජනක රත්නකුමාර මහතා ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, සීමාසහිත විජය පුවත්පත් සමාගමේ සභාපති රන්ජිත් විජේවර්ධන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Exit mobile version