Site icon Newshub

දවස් ගණන් පෝලිම් වල හිටපු අපිට සහනයක් දුන්නේ රනිල් – ප්‍රධානතම ත්‍රිරෝද රථ සංගම් 4ක සහාය ජනපති රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව මෙරට ප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් හතරක නියෝජිතයින් පවසති.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi app ත්‍රී රෝද රථ වෘත්තිකන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය යන ප්‍රවාහන සංගම් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්ව සිටියි.

එම සංගම් නියෝජනය කරන නියෝජිතන් දහසක් පමණ අද (04) උදෑසන කොළඹ ගෝල්ෆේස් අරගල භූමියට රැස්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවශ්‍ය බවට කරන ලද ඉල්ලීම අනුව ඔවුන් අතරට පැමිණි ජනාධිපතිවරයා එම පිරිස සමඟ සුහද පිළිසඳරක නිරත විය.

වසර 25ක් පුරා විධායක ජනාධිපතිවරුන් සිව් දෙනෙකු යටතේ විසඳුම් නොලැබුණු ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියාමනය පිළිබඳ ගැටළුවට පැය 24ක් තුළ විසඳුම් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තුතිය පළ කළ ත්‍රීරෝද රථ රියදුරන් පසුගිය සමයේ රැකියාව කරගත නොහැකිව දින ගණනක් ඉන්ධන පෝලිම්වල රස්තියාදු වූ තමන් එම තත්ත්වයෙන් මුදාගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් නැවත එවන් තත්ත්වයකට මුහුණදීමට තමන්ට අවශ්‍ය නොවන බවත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණක් 2025 වසරේ සිට හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති බවයි.

පැවති ආර්ථික අර්බුදය හමුවේ ණය බරින් පීඩා විඳින ත්‍රිරෝද රථ රියදුරන්ගේ එම ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීම උදෙසා රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු මඟින් අවස්ථාව සලසා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

ත්‍රිරෝද රථ ලංකාවට හඳුන්වා දීමේදී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විශේෂ උනන්දුවකින් කටයුතු කළා. අද එය අප සිතුවට වඩා සාර්ථක වී තිබෙනවා. දැන් දස ලක්ෂ ගණනකට ත්‍රිරෝද රථ අයිතිය තිබෙනවා. එම නිසා අප මෙම ත්‍රිරෝද රථ කර්මාන්තය නිසි රාමුවක් තුළ සංවිධානය කළ යුතුව තිබෙනවා.

ත්‍රිරෝද රථ කර්මාන්තය මුහුණදී සිටි නියාමනය පිළිබඳ ගැටළුව අප දැනටමත් විසඳුම් ලබා දී තිබෙනවා. ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ද අප කටයුතු කර තිබෙන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ වගේම කොවිඩ් සහ ආර්ථික අර්බුදය නිසා කර්මාන්තය තුළ ඇති වූ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කර රාජ්‍ය බැංකු දෙක මගින් සහන ලබා දීමටත් ඒ පිළිබඳ පුද්ගලික බැංකු සමග ද සාකච්ඡා කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ත්‍රිරෝද රථ කර්මාන්තය සඳහා මීට වඩා විධිමත් සංවිධානයක් අවශ්‍යයි. සෑම පළාතකම මෙම සංගම්වල නියෝජිතයන් සහ පොලිසිය, පළාත් සභා නියෝජනයක් සමඟ කමිටු පත් කර මෙහි අනාගත දියුණුව පිළිබඳ නව පියවර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඉදිරි වසර කිහිපය තුළ ඉන්ධන පමණක් නොව විද්‍යුත් ත්‍රිරෝද රථ අවශ්‍ය වෙනවා. මේ සියලු කටයුතු පිළිබඳ අවධානය යොමු කර අප ඉදිරි කටයුතු කරගෙන යා යුතුයි.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා

ත්‍රිරෝද රථ සංගම් 04ක් ඒකබද්ධ වී සමස්ථ ත්‍රිරෝද රථ රියදුන් වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත කෘතඥතාව පළ කිරීමට අද මෙම ස්ථානයට රැස් වුණා.මේ රටේ ත්‍රිරෝද රථ මගී සේවාවේ ඉදිරි ගමන, ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඇතුළු ත්‍රිරෝද රථ සේවාවට අදාළව තිබු අඩු පාඩුකම් නියාමනය සඳහා රජයේ මැදිහත්වීම අත්‍යාවශව තිබුණා.

ඒ සඳහා වසර 25කට වැඩි කාලයක් අප ඉල්ලීම් සිදු කළා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම ගැටළුව ඉදිරිපත් කිරීමෙන් පසු පැය 24ක් වැනි අඩු කාලකදී එතුමා එය ඉටු කර දුන්නා. අවුරුදු 25ක් තිස්සේ කරගත නොහැකි වූ දේ පැය 24ක් තුළ ගැසට් කර යථාර්ථයක් බවට පත් කරදීමට එතුමා කටයුතු කළා. ඒ වගේම සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් පවා එතුමා නිසි ලෙස අපේ ප්‍රශ්න තේරුම් ගෙන තිබෙනවා.

ඒ නිසා ත්‍රිරෝද රථ සේවාව NVQ4 මට්ටමට ගෙන ඒමටත්, ඒ වගේම NVQ සහතික ලබා දීමටත්, විශ්‍රාම වැටුප් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ඇතුළු ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු විසඳමින්, කොවිඩ් වසංගතය හමුවේ ණය බරින් පීඩාවට පත් වූ ත්‍රිරෝද රථ ප්‍රජාවට සහන සැලසීමට ගතයතු සියලු පියවර මේ වන විට ජනාධිපතිතුමා විසින් ගෙන තිබෙනවා.

මෙම කටයුතු සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම ලක්ෂ සංඛ්‍යාත ත්‍රිරෝද රථ හිමියන් වෙනුවෙන් කරනු ලබන සේවාවක් බව කිව යුතුයි. එම නිසා අප ඉදිරි ජනාධිපතිවරණයෙ දී ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කර රටේ ආර්ථික සංවර්ධනයේ කොටස්කරුවන් වන බව ප්‍රකාශ කරනවා.

ජාතික Taxi app ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකතුමුවේ සභාපති ජෙස්මින් ලංකා මහතා මෙරට වසර 46ක්වන ත්‍රිරෝද රථ කර්මාන්තය මේ වනතුරු ක්‍රියාත්මක වූයේ අවිධිමත් ලෙසයි. අවුරුදු 25ක් පුරා එහි නියාමනයක් වෙනුවෙන් අපේ නායකයන් සටන් කළා. නමුත් මේ රටේ විධායක ජනාධිපතිවරු 04 දෙනෙකුට ඉටු කළ නොහැකි වූ කාර්යය ඉටු කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. අද අප මෙම ස්ථානයට රැස් වුණේ එයට ස්තූතිය පිරිනැමීමටයි.

ඒවගේම වර්තමානයේ Taxi app හරහා ව්‍යාපාරයක් දියත් වෙනවා. එසේ සිදුවුයේ මෙම කර්මාන්තය අවිධිමත් නිසයි. ඒ හමුවේ ත්‍රිරෝද රථ හිමියන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදු වණා. නමුත් ජනාධිපතිතුමා ගැසට් කර දුන් නීති පද්ධතිය නිසා එම සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබී තිබෙනවා.

අපි පසුගිය සමයේ සති ගණන් ඉන්ධන පොලිම්වල සිටි පිරිසක්. ජනාධිපතිතුමා නිසා අද අපට අවශ්‍ය තරමින් ඉන්ධන ලැබෙනවා. ඒ නිසා අපට රැකියාව කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඉදිරියට ද මේ රටේ ප්‍රශ්න විසඳිය හැක්කේ ජනාධිපතිතුමාට පමණයි. නැත්නම් අපට ්‍යලිත් ඉන්ධන පෝලිම්වල ඉන්න සිදු වෙනවා.

අද මාලිමාවේ වේදිකාවේ කියනවා අපි ආවොත් Taxi app එකක් ගේනවා කියලා. මේ ගේන්න හදන්නේ පික්මී Taxi app එකද කියලා මම බලධාරින්ගෙන් අහනවා. ඒ වගේම යතුරු පැදි ගෙනවිත් ත්‍රිරෝද රථ ප්‍රජාවට තවත් අපහසුතාවට පත් කරන්න හදනවා.

එම කටයුත්තේ ව්‍යාපාරිකයෙක් ජනාධිපති අපේක්ෂකයෙකුගේ වේදිකාවේ සිටින විට අපට මොකක්ද වෙන්නේ කියා පැහැදිළි සැකයක් මතු වෙනවා. ඒ නිසා නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කර ගැනීමට අප කැපවී කටයුතු කරනවා.

එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තීකයන්ගේ සංගමයේ ලේකම් රහුමාන් පල්ලෙයි මහතා

අප ඉදිරි ජනාධිපතිවරණයේදි වත්මන් ජනාධිපතිතුමාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. මොකද එතුමා ත්‍රිරෝද රථ කර්මාන්තයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් රෙගුලාසි ගැසට් කිරීමට පෞද්ගලිකවම මැදිහත්වී කටයුතු කළා. ඒතුමා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීම සඳහා අපට ලබාදිය හැකි සියලුම සහයෝගය ලබාදෙනවා.

ත්‍රිරෝද රථ කර්මාන්තයට අදාළව ශ්‍රී ලංකාව තුළ බොහෝ රෙගුලාසි පනවා තිබුණත් ඒවා මේ දක්වා ක්‍රියාත්මක වූයේ නැහැ. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුළ 2002 දී රෙගුලාසි ගැසට් කර තිබුණත් ක්‍රියාත්මක වුණේ නැහැ. වත්මන් ජනාධිපතිතුමා යටතේ මේ ගැටළුව ලබන වසරේදී විසඳෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. නැවත වරක් ජනාධිපතිවරයා බවට පත් වන්නේ එතුමායි. ත්‍රීරෝද රථ ප්‍රජාව වශයෙන් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැපවී කටයුතු කරනවා.

Exit mobile version