Site icon Newshub

හිල්ටන් හෝටලය කුණු කොල්ලයට විකුණනවායැයි වසන්ත සමරසිංහ කියූ කතාව අමු බොරුවක්.!

කොළඹ හිල්ටන් හෝටලය කුණු කොල්ලයට විකුණන බව පවසමින් ජාතික ජන බලවේගයේ සාමාජික වසන්ත සමරසිංහ මහතා සිදුකළ ප්‍රකාශයක් සහිත විඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩිලෙස කතාබහට ලක්ව තිබේ. කෙසේවෙතත් මෙහි ප්‍රකාශ වන කරුණු පිළිබඳව ගවේෂණාත්මකව සොයා බලා එම කරුණු සියල්ල අසත්‍යයක් බව ඉකොනොමැට්ටා Fan Club සමාජ මාධ්‍ය පිටුවෙහි පළකර තිබේ.

එමෙන්ම පසුගිය වසර කිහිපයේම හිල්ටන් හෝටලය දැවැන්ත ලෙස පාඩු ලබා ඇති බව අදාළ ගිණුම් වාර්තා පිරික්සීමේදී අනාවරණය වී ඇති බවත් මෙහිදී පැහැදිලිව පෙන්වාදී තිබේ. ඒ අනුව ජාතික ජන බලවේගය අසත්‍ය කරුණු සහිත අසත්‍ය ප්‍රකාශ ජනගත කරමින් සිටින බව මෙමගින් ඉතා පැහැදිලිව සනාතවී ඇත.

අදාළ කරුණු සහිත සම්පුර්ණ ලිපිය පහතින් සඳහන් කරතිබේ.

“පහුගිය දවස් දෙක තුනේ FB එකේ වීඩියෝ එකක් සෑහෙන්න වෛරල් උනා කොළඹ හිල්ටන් එක ගැන.

ඒකෙන් කියවුනේ රාජ්‍ය ආයතන විකිණීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ කොළඹ හිල්ටන් හෝටලය හෙවත් Hotel Developers(Lanka) Ltd ආයතනය ඩොලර් මිලියන 124 කට පසුගිය වසරේ තක්සේරු කර , මේ වසරේ ඩොලර් මිලියන 55 කට තක්සේරු කර , ඊටත් වඩා බෙහෙවින් අඩු ඩොලර් මිලියන 41 කට මෙල්වා ආයතනයට විකිණීමට සැලසුම් කර ඇති බව එහි සඳහන් තිබුණි.

මේ නිවුස් එක දැක්ක ගමන් මගේ මුලින්ම අවධානය ගියේ ගිය වසරේ තක්සේරු වටිනාකම යැයි කියන ඩොලර් මිලියන 124 ක මුදල හෙවත් රුපියල් බිලියන 38ක මුදලට. ඒකට හේතුව එක හෝටලයක් පමණක් අයිති Hotel Developers(Lanka) Ltd කොම්පැනිය එතරම් ඉහළ මිලකට තක්සේරු කිරීම පුදුම සහගත නිසා. ( Hilton weerawila, Hilton yala වගේ හොටෙල් දැනටමත් මෙල්වා ආයතනයට අයිති‍යි)

සංසන්දනාත්මකව කියනවනම් ලංකාවේ ප්‍රධානම හොටෙල් ජාල වෙන්නෙ John Keels Hotel හා  Aitkence Spence Hotel ජාලයන්. ඒවායෙත් කොටස් වෙළඳපළ වටිනාකම් වන්නේ පිළිවෙළින් බිලියන 24 ක් හා බිලියන 20 ක්.

මං ඊට පස්සේ හිල්ටන් එකේ විගණනය කළ මූල්‍ය වාර්තා(Audited Financial Report) අරන් බැලුවා. 2023/2024 වාර්තාවට අනුව හිල්ටන් කම්පැනියෙ ශුද්ධ වත්කම් වටිනාකම (net assest value) රුපියල් බිලියන 12.2 ක් හෙවත් ඩොලර් මිලියන 40 ක්.

ඊළඟට ඒ වීඩියෝ එකේ තිබුන අක්කර හතක ඉඩමක් හෝටලය සමග කුණුකොල්ලෙට විකිණෙන බව. ඒත් ඇත්තටම විකිණීමට ඇත්තේ හිල්ටන් හෝටලය පිහිටා ඇති අක්කර 4.6 ක ඉඩම. අනිත් අක්කර 1.9 ක ඉඩම වෙනම රුපියල් බිලියන 4.4 ක් හෙවත් ඩොලර් මිලියන 14 ක් ගෙවා  ගත යුතු වෙනවා.

ඒ විතරක් නෙමේ , income statements බැලුවම පැහැදිලිව පෙනෙනවා පසුගිය වසර කිහිපයේම හිල්ටන් හෝටලය දැවැන්ත පාඩු ලබා ඇති බව. (අනෙකුත් කළම්බු සිටී හොටෙල් ද එසේමයි) ඒකට එක හේතුවක් කොරෝනා හා රටේ ආර්ථික අර්බුදයය නිසා විදෙස් සංචාරකයන්ගේ අඩු පැමිණීම. අනික් හේතුව හෝටල් පවත්වා ගැනීමට ලබාගත් විශාල ණය නිසා ගෙවීමට සිදුවී ඇති අධික පොලී මුදල්(finance cost). ඊට අමතරව කොළඹ හොටෙල් සඳහා රජය විසින් පැනවූ කාමර සඳහා අවම මුදල(Minimum room rate) යන අනුවණ තීරණයද කොළඹ හොටෙල් වල පසුගිය වසරේ අලාභයන් සඳහා හේතු වී තිබෙනවා.( කොළඹින් පිට හෝටල් වල සාපේක්ෂව හොඳ වර්ධනයන් පෙන්නුම් කරනවා)

ඒ විතරක් නෙමෙයි අදාල වීඩියෝ එකේ කියනවා  දැන් හිල්ටන් හෝටලය තරු 7 හෝටලයක් කියලා.

ඒකත් වැරදියි. තාමත් හිල්ටන් හෝටලය තරු 5 හෝටලයක්.

ඊට අමතරව කොටස් වෙළඳපළේ ලයිස්තු ගත හෝටල් බොහොමයක් කොටස් වර්තමානයේදී කොටස් වෙළඳපොලේ විකිණෙන්නේ ශුද්ධ වත්කම් වටිනාකමට වඩා බෙහෙවින් අඩු මුදලකට. ඒ කියන්නේ price to book value එක 1 ට වඩා සැලකිය යුතු ලෙස අඩුයි. පසුගිය වසරේ සිදු කළ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයෙන් පසු විශාල ලෙස ඉහළ ගිය හොටේල් කොටස්වල මිල දැන් බෙහෙවින් පහතට වැටී තිබෙනවා. ( මගේ අනුමානය තවත් පහළට වැටෙයි යන්නයි) එකලට සාපේක්ෂව 20%  වඩා අඩු මිලකට එම කොටස් වර්තමානයේදී මිලට ගන්න පුළුවන්.

හිල්ටන් හෝටලය ඩොලර් මිලියන 124 කට තක්සේරු කර ඇතැයි යන කතාව කොහෙන් ආවේ දැයි සෙවූ විට එය ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ සහෝදරයා විසින් පළමුවෙන්ම සිදුකළ ප්‍රකාශයක් බව පෙනී යනවා. වෙන කිසිම මූලාශ්‍රයක් හෝ රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ(GHV) වාර්තාවක් සොයාගන්න මට බැරි වුණා. කවුරුන් හෝ ගාව එවැනි වාර්තාවක් තිබේ නම් කරුණාකර එවන්න.” යනුවෙන් ඒහි සඳහන්ව තිබුණි.

 

Exit mobile version