Site icon Newshub

සජිත් – හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර මත ගැටුමක් හේතුවෙන් විපක්ෂ නායක කාර්යාලය උණුසුම් වී තිබෙන බව වාර්තා වේ.

සමගි ජන බලවේග ආර්ථික කමිටුවේ ප්‍රධානියා මෙන්ම අනාගත සජබ රජයක මුදල් ඇමති ධූරය උදෙසා ප්‍රධාන තරගකරුවා වන්නේ ද   හර්ෂ ද සිල්වා යි.

ආර්ථිකය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක්ද ඇති ඔහු ආර්ථිකය සම්බන්ධ බොහෝ පාර්ලිමේන්තු කමිටු වල ද ක්‍රියාකාරී සාමාජිකයෙක් විය.

ගෝඨාභය රාජපක්ෂ රජයේ ආර්ථික ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළ පිරිස් අතර පෙරමුණේ සිටියේත් හර්ෂ යි.

එනමුත් 2022 ජූලි මාසයේ සිට හර්ෂ ද සිල්වා එතරම් විවේචනාත්මකව අදහස් දක්වනු දැකගත හැකි වූයේ නැත.

එයට හේතු වූයේ වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති හර්ෂ ද සිල්වා විසින් ද අනුමත කිරීමයි.

පසුගිය කාලසීමාව පුරාම මාධ්‍ය ඉදිරියේ වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති වර්ණනා කිරීමට පවා හර්ෂ ද සිල්වා කටයුතු කළේය.

විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපතිවරයා හර්ෂ ද සිල්වා ගේ වර්ණනාවට ලක් වූ චරිත අතර ඉදිරියෙන්ම විය.

කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා විසින් ජනාධිපතිවරයා විවේචනය නොකිරීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බව වාර්තා වේ.

ඉන් එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ පොහොට්ටුවේ සිට සජබයට එක්වූ සජබ රජයක මුදල් අමාත්‍ය ධුරය සඳහා ඇස යොමා සිටින නාලක ගොඩහේවා විසින් බව කියවේ.

ඔහුගේ අරමුණ වී ඇත්තේ සජිත් ප්‍රේමදාස සහ හර්ෂ ද සිල්වා අතර ගැටුමක් ඇතිකර සජබයේ ප්‍රධාන ආර්ථික උපදේශක තනතුර ලබා ගැනීම බව තතු දත්තො පවසයි.

මේ පැමිණිලි වලට අදාලව සජිත් ප්‍රේමදාස විසින් පසුගිය දිනක හර්ෂ ද සිල්වා සිය කාර්යාලයට කැඳවා බැන වැදී ඇතැයි වාර්තා වේ.

එහිදී සජිත් ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ විවේචනය කළ නොහැකිනම්, වහාම පක්ෂයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන දෙසයි.

සජිත් විසින් ඉතා දැඩි ස්වරයෙන් හර්ෂ ට දෝෂාරෝපණය කර තිබෙන අතර, ඒ අවස්ථාවේ ලක්ෂ්මන් ෆොන්සේකා, සුජීව සේනසිංහ සහ නාලක ගොඩහේවා ද සිට ඇතැයි වාර්තා වේ.

හර්ෂ ගේ පිළිතුර වී ඇත්තේ ආර්ථික විද්‍යාව උගතෙකු ලෙස, නිවැරදි ප්‍රතිපත්ති විවේචනය කිරීමට පදනමක් සොයා ගත නොහැකි වීම රනිල් විවේචනය නොකිරීමට හේතුව බවයි.

එම පිළිතුරෙන් සජිත් තව තවත් කෝපයට පත් වී ඇති බව සඳහන්.

මින් දින කිහිපයකට පෙර හදිසියේම මාධ්‍ය හමුවක් කැඳවා හර්ෂ ද සිල්වා විසින් පදනමක් නොමැතිව ජනපතිවරයා විවේචනය කිරීමට හේතු වූයේ මේ බැන වැදීමයි.

එම මාධ්‍ය හමුවෙන් පසුව සිය හිතමිතුරන්ට හර්ෂ පවසා ඇත්තේ, සිය ජීවිතයේ පළමුවරට අද නිවැරදි ප්‍රතිපත්තියක් විවේචනය කිරීමට වූ බවත්, මෙතැන් පටන් ආර්ථික විද්‍යාව දන්නා මිනිසුන්ට තමන් මෝඩයෙකු සේ පෙනෙනු ඇති බවත් ය.

මේ සියල්ල ආර්ථික විද්‍යාව නොවැටහෙන, නූගත්, බලලෝභී පුද්ගලයෙකු සහ ඔහුගේ සහචර කල්ලිය විසින් නායකත්වය දරන පක්ෂයක සාමාජිකයකු වීම නිසා යැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

වාර්තා වන අන්දමට සජිත් සහ හර්ෂ අතර ගැටුම උග්‍ර වී තිබෙන අතර, එළඹෙන සජබ රජයක මුදල් අමාත්‍යධූරය බොහෝ විට ගොඩහේවා ට හිමි වනු ඇතැයි ද සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

Exit mobile version