Site icon Newshub

ජනතාවගේ අහිංසක බලාපොරොත්තු ඉටුකරන එක මගේ වගකීමක් – නාමල්

මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ අහිංසක බලාපොරොත්තු ඉටුකිරීම තම වගකීම ලෙස සලකන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් අනතුරුව පාක්ෂිකයන් හමූ වූ අවසථාවේදී ඔහු මෙම අදහස් පලකර සිටියා.

ඔහු පවසන්නේ, අහිංසක දෙමව්පියන්ගේ මෙන්ම තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කළ හැකි දැවැන්ත වැඩපිළිවෙළක් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින බවයි.

තමන් මෙම මැතිවරණයට ඉදිරිපත් වූයේ ජයග්‍රහණය කිරීමට බවත් මෙරට ජනතාව සහ රට ආරක්ෂා කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තමන්ට ඇති බවත් ඔහු කියා සිටියා.

නූතන පරම්පරාවේ දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන්ට හැකියාවක් ඇති අතර, මෙරට අම්මා තාත්තගෙන් තරුණයන්ගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වන ලෙස ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ අපේකම ආරක්ෂා කරන ගමන් නූතන පරම්පරාවට ගැළපෙන ආකාරයට රට සකස් කිරීමට නවීකරණය සඳහා ගමන් කිරීමට එකතුවන ලෙස ඉල්ලා සිටින බවයි.

එමෙන්ම නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් අද (16) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදා ආශිර්වාද ලබාගෙන තිබුණි.

අනතුරුව මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පිංකමක් ද සංවිධාන කෙරුණි.

Exit mobile version