Site icon Newshub

විජය කුමාරතුංගයන් බිහිකල ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සහයත් රනිල්ට

ශ්‍රී ලංකා මහජන පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබේ. එහි වත්මන් නායක අසංක නවරත්න අද මාධ්‍ය හමුවකදී මේබව දැනුම්දුන්නේය.

මහජන පක්ෂය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ,

“අසංක නවරත්න මහතා 2013 වසරේ සිට මහජන පක්ෂයට නායකත්වය ලබාදෙයි. 19 දෙනෙක්ගෙන් සමන්විත දේශපාලන මණ්ඩලයේ අති බහුතරය, 67 දෙනෙක්ගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවේ අති බහුතරය, 115 කගෙන් සමන්විත විධායක සභාවේ අති බහුතරය වත්මන් ජනපති, ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී අපගේ සහාය ලබාදිය යුතු බවට යෝජනා ස්ථිර කිරීම පසුගියදා සිදුකරන ලදී.

විධායක ජනපති ක්‍රමය අහෝසිකිරීම, පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීම ආදී කරුණු වලදී ජනපතිතුමාගේ අදහස් සමග එකඟවන අප මහජන පක්ෂය පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා පසුගිය වසර දෙකක් පුරා සිදුකළ අභියෝගාත්මක කැපවීම පිළිබඳව අපගේ ගෞරවය පුදකරයි.

කවදත් රටත් ජනතාවත් මුහුණදෙන තීරණාත්මක දේශපාලන නිමේෂයන් අත් නොහැර සිය මැදිහත්වීම සිදුකරන මහජන පක්ෂය 2024 ජනාධිපතිවරණය සලකුණු කරනුයේද රටේත් මිලියන 22ක් වන ජනතාවගේත් ඉරණම තීන්දු කරන මැතිවරණයක් ලෙසය. පක්ෂ , ජාති ආගම් වශයෙන් බෙදී වෙන්වී සිදුකළ දේශපාලනයේ සහ ජනප්‍රියවාදී දේශපාලන තීන්දු වල ප්‍රතිඵලය 2022 දී මෙරට ජනතාව අත්විඳි බව රහසක් නොවේය. ඒ වෙනුවෙන් ගෙවූ සමාජ වන්දිය ද සුළුපටු නැත.

අනෙක් අතට අර්බුදයත් අරගලයත් විසින් පැරණි සම්ප්‍රදායික දේශපාලනය අතාර්කික කර දැමුණු අතර ලංකා දේශපාලන සිතියම අලුතින් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජාතික අවශ්‍යතාවක් ලෙස අප හමුවේ ඉදිරිපත්ව ඇත. යළිත් ආපසු හැරීමක් හෝ අත්හදා බැලීමකට ඉඩක් නොතබා නව තත්ත්වය තෝරාගැනීම ඓතිහාසික කාර්‍යභාරය ලෙස අප හමුවට පැමිණ ඇත.

දේශපාලන ක්‍රියාකාරීන් වශයෙන් මේ මොහොතේ ගනු ලබන එක් වැරදි තීන්දුවක් යළිත් රට මිහිමත අපායක් දක්වා ඇද දමන බවත් ඉතා පැහැදිලිය. 2022 ආර්ථික  ඛේදවාචකය  දක්වා වූ සංඛ්‍යා දත්ත විශ්ලේෂණය කිරීමෙන්  සහ රට හමුවේ ඇති ඉදිරි ආර්ථික අභියෝග විග්‍රහ කරගැනීමේ දී ඒ බව මනාව තහවුරු වන්නේය. මේ හමුවේ තෝරාගැනීම් කිහිපයක්  ඊනියා  ජනප්‍රියවාදී දේශපාලන කතිකාව තුළ ඇතත්  වැටුණු රට ගොඩනැගූ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ දියත් කළ වැඩපිළිවෙළට සම කළ හැකි දියුණු විධිමත් සැසැලැස්මක් අප අත්දැකීමට හසුවන්නේ නැත. අවම වශයෙන් විකල්ප වැඩසටහනක් හෝ ඉදිරිපත් කිරීමට එකී ඊනියා දේශපාලනය අසමත්ව ඇති බව අප පක්ෂය මේ වන විටත් තහවුරු කරගෙන හමාරය. එබැවින් මේ මොහොත කියන්නේ මිලියන 22ක ජනතාවගේ ඉරණම තීන්දු කරන , නිවැරැදිම තීන්දුව ගත යුතු මොහොතය. පෞද්ගලික දේශපාලන වාසිය වෙනුවට මේ දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් තීන්දුව ගත යුතු මොහොතය. පක්ෂයට පෙර රට ගැන සිතිය යුතු මොහොතය. විජය කුමාරතුංගයන්ගේ මානවවාදී දේශපාලනයෙන් අප උගත් පාඩම එසේය.

ඒ යථාවත් කිරීම වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නිර්පාක්ෂික, ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමටත්, ඔහු ඉදිරිපත් කර ඇති ආර්ථික – සමාජ – දේශපාලන වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවීමටත් පූර්ණ දායකත්වය සපයමින් එහි කොටස්කරුවන් වීම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ තෝරාගැනීම ය.

Exit mobile version