Site icon Newshub

අරාජිකවාදීන් නිසා ගිනිගෙන දැවෙන බංග්ලාදේශය

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී රටින් පිටව යාමත් සමඟ සාධාරණ රැකියා කෝටා ක්‍රමයක් වෙනුවෙන් ආරම්භ වී පසුව ආණ්ඩු විරෝධී ජනතා රැල්ලක් බවට පත්වූ විරෝධතාවේ අවසානය සලකුණු විය.

අගමැතිනි ෂෙයික් හසීනාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බංග්ලාදේශ ශිෂ්‍ය විරෝධතාකරුවන් ඊයේ (05) ‘මාච් ටු ඩකා’ නමින් අගනුවර දැවැන්ත පාගමනක් ආරම්භ කර තිබුණේ ඒ අනුවය.

දස දහස් සංඛ්‍යා විරෝධතාකරුවන් අගමැතිනියගේ නිල නිවහනට ඇතුළු වී එහි තිබූ ගෘහ භාණ්ඩ, රූපවාහිනී සහ විද්‍යුත් උපකරණ, බුමුතුරුණු, මල් බඳුන් පමණක් නොව ජල තටාකයේ සිටි මසුන් පවා විරෝධතාකරුවන් රැගෙන යන ආකාරය මෙන්ම එහි තිබූ බොහෝ දෑ කොල්ලකෑමටත්, පාරිභෝජනය කිරීමටත් කටයුතු කළ අයුරු බංග්ලාදේශ රූපවාහිනී සේවා මගින් විකාශය කෙරුණි.

ඩකා නගර මධ්‍යයේ පිහිටි ෂෙයික් හසීනාගේ පියා වූ බංග්ලාදේශයේ නිර්මාතෘ ෂෙයික් මුජිබර් රහමන්ගේ දැවැන්ත ලෝහමය ප්‍රතිමාව මත නැඟ එහි හිසට පොරෝ පහරක් එල්ල කළේ එම ඉතිහාසය නොදන්නා පුද්ගලයන් ලෙසිනි.

මෙම තත්ත්වය උදාවීමට මොහොතකට පෙර අගමැතිනි ෂෙයික් හසීනා සිය සොහොයුරිය සමඟ හමුදා හෙලිකොප්ටර් යානයක නැගී ඉන්දියාවට පළාගොස් තිබුණි.

ඉන්දියාවට පළාගිය ෂෙයික් හසීනා අද (06) දිනයේ ලන්ඩනය බලා පිටත්ව යනු ඇති බව ‘ටයිම්ස් නව්‘ නැමැති ඉන්දීය රූපවාහිනී සේවය ප්‍රකාශ කර තිබුණි.

ප්‍රචණ්ඩ විරෝධතා සිවිල් යුධ ගැටුමක් තරම් ව්‍යාප්ත වී ජීවිත හානි 300ක් පමණ වාර්තා වන විට ෂෙයික් හසීනාට වහා ඉල්ලා අස්වන ලෙස බංග්ලාදේශ හමුදාව දැනුම්දීමක් සිදුකර තිබූ බවත් ඒ සඳහා හමුදා ප්‍රධානියා අගමැතිනී ෂෙයික් හසීනාට ලබාදී තිබුණේ විනාඩි 45ක කාලයක් බවත් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඒ වනවිටත් රටපුරා දැවැන්ත බිහිසුන තත්වයක් ඇතිව තිබූ බවත් දේපොළ ගිනි තබමින්, සුළු ජාතීන්ට බරපතල ලෙස හානි පමුණුවමින් බංග්ලාදේශය පුරා ප්‍රචණ්ඩත්වය දියත් වී තිබුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එවන් තත්වයක බංග්ලාදේශ රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ හමුදා ප්‍රධානී වකර් උස් සමාන් ප්‍රකාශ කළේ රටේ ආරක්ෂාව සුරැකීමේ වගකීම හමුදාව භාරගන්නා අතර අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බවය.

ඒ සඳහා ෂෙයික් හසීනාගේ අවමි ලීගය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කරන බවත්, ඉක්මණින්ම ජනාධිපති මොහොමඩ් ෂහබුද්දීන් මුණගැසෙන බවත් ඔහු සඳහන් කර තිබුණි.

පසුගිය ජුනි මස 23 වනදා බංග්ලාදේශ හමුදා ප්‍රධානී තනතුරට පත්වූ වකර් උස් සමාන් ප්‍රකාශ කළේ බංග්ලාදේශය දැන් විප්ලවකාරී සමයක් පසුකරමින් සිටින බවය.

සියලු මිනීමැරුම් සහ අසාධාරණකම්වලට යුක්තිය ඉටුකරන බවට ප්‍රතිඥා දුන් බංග්ලාදේශ හමුදා නායකයා රටේ හමුදාව කෙරෙහි විශ්වාසය තබන ලෙස ඉල්ලා සිටි අතර ප්‍රචණ්ඩත්වය අත්හැර සාමකාමී ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

අද (06) අලුයම් කාලයේ සිට ඇඳිරි නීතිය ඉවත් කරන බවත් රටේ සියලු පාසල්, කම්හල්, විද්‍යායතන සහ විශ්වවිද්‍යාල විවෘත කරන බවත් බංග්ලාදේශ හමුදා ප්‍රකාශකයා සඳහන් කර තිබුණි.

දැවැන්ත ජනතා විරෝධතා හමුවේ පසුගිය ඉරිදා රාත්‍රීයේ සිට රට පුරා ඇඳිරි නීතිය පැනවීමටත්, ඊයේ (05) සිට දින තුනක නිවාඩුවක් ක්‍රියාත්මක කිරීමටත් ෂෙයික් හසීනාගේ රජය ඊට පෙර ප්‍රකාශ කර තිබුණි.

මේවනවිට සියල්ලන්ගේ අවධානය යොමු වී තිබෙන්නේ බංග්ලාදේශ හමුදා නායකත්වය විසින් පිහිටුවීමට අදහස් කරන අන්තර්වාර රජය පිළිබඳවය.

එය සියල්ලන් ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක් වනු ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය විශ්වාසය පළ කරයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තන ක්‍රියාවලිය තුළදී පළිගැනීමේ ඝාතන සහ විනාශය වැළැක්වීමට කටයුතු කළ යුතු බව බංග්ලාදේශ දේශපාලනය පිළිබඳ විද්වතුන් ප්‍රකාශ කර තිබුණි.

බංග්ලාදේශයේ අන්තර්වර රජයක් පිහිටුවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා හමුදා ප්‍රධානී ආමි චීෆ් ජෙනරාල් වකර්-උස්-සමාන් විරෝධතා සංවිධායකයන් මුණගැසීමට නියමිතය.

ෂෙයික් හසීනාගේ රජය පෙරළා දැමීමට විරෝධතාවල නිරතවූ ශිෂ්‍ය නායකයන් යෝජනා කරන්නේ නොබෙල් සාම ත්‍යාගලාභී, බංග්ලාදේශ ආර්ථික විද්‍යාඥයෙකු වන මොහොමඩ් යූනුස් යටතේ අන්තර්වාර රජය පිහිට විය යුතු බවය.

බංග්ලාදේශයේ මිලියන සංඛ්‍යාත දුප්පතුන්ට පිටිවහලක් වූ ග්‍රාමීන් බැංකු ව්‍යාපෘතියේ නිර්මාතෘ මොහොමඩ් යූනුස් අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා ලෙස පත්කළ යුතු බවට යෝජනා කරන ශිෂ්‍ය නායකයන් සඳහන් කර ඇත්තේ තමන් හමුදා පාලනයක් හෝ වෙනත් විකල්පයක් ප්‍රතික්ෂේප කරන බවය.

දැනට ප්‍රංශයේ රැඳී සිටින 84 හැවිරිදි මොහොමඩ් යූනුස් සමඟ තමන් සාකච්ඡා කළ බවත්, ඔහු ඊට එකඟතාවය පළ කළ බවත් ශිෂ්‍ය කණ්ඩායම් සඳහන් කළේය.

බංග්ලාදේශයේ පිහිටුවන අන්තර්වාර රජය හැකි ඉක්මණින් නව මහ මැතිවරණයක් පවත්වන බව බංග්ලාදේශ ජනාධිපති ෂහබුද්දීන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ප්‍රකාශ කළ අතර විපක්ෂ බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායිකා බේගම් ඛලීඩා සියා වහා නිදහස් කිරීමට ද තීරණය කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version