Site icon Newshub

රනිල් අනුරාධපුර ජය තහවුරු කරයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ.

කෙළෙහි ගුණ දක්වන මිනිසුන් හැටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වන ලෙසට පොදු ජන එක්සත් පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයේදී අති බහුතරයකගේ පල වූ එකඟත්වය මත ඔවුන්ගේ මතයට සහාය දැක්වීමටත් පක්ෂයටත් ඒ අනුව කටයුතු කිරීමට තවමත් කල් තිබෙන බවත් අනුරාධපුර දිස්ත්‍රික් පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායම් නායක,දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

මේ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට අනුරාධපුර දිස්ත්‍රික් සම්මේලනයේදී අති බහුතරයකගේ කැමැත්ත හිමිව ඇති බැවින් එම ඡන්ද පදනම එලෙසෙම පැවතියහොත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වනු ඇත.

මේ සඳහා උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස් එම් රංජිත් සමරකෝන් මහතා සහ දිස්ත්‍රික්කයේ සියලුම හිටපු පළාත් සභා මන්ත්‍රීවරු, ,ආසන සංවිධායකවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ප්‍රාදේශීය සභා නියෝජිතවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු දෙසීයකට අධික පිරිසක් එක්ව සිටියහ.

තම තමන් ස්වාධීනව අදහස් දක්වන ලෙස චන්ද්‍රසේන මහතා දිස්ත්‍රික් සම්මේලනයේ නියෝජිතයින්ගෙන් කල ඉල්ලීමට අනුව එම පිරිසෙන් දෙදෙනෙක් හැර අන් සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දැක්වීම සුදුසු බවට යෝජනා කලහ.

තමා බිම් මට්ටමේ දේශපාලනය කල යුතු බැවින් ඔවුන්ගේ මතයට ගරු කරන බව චන්ද්‍රසේන මහතා කීය.එසේ නොකල හොත් ජනතාව තමන්ද ප්‍රතික්ෂේප කරන බව කී දිස්ත්‍රික් නායකයා එහෙයින් එකඟ වන දේට තමාද ගරු කරමින් කටයුතු කළ යුතු බව මෙහිදී චන්ද්‍රසේන මහතා අවධාරණය කළේය.

අද (30දා) අනුරාධපුර කුරුන්දන්කුලම චන්ද්‍රසේන මහතාගේ නිවසේ පිහිටි පොදු ජන එක්සත් පෙරමුණු දිස්ත්‍රික් කාර්යාලයේ පැවැත් වූ දිස්ත්‍රික්සම්මේලනයේදී කණ්ඩායම් නායක චන්ද්‍රසේන මහතා ඇතුළු පිරිස මෙම එකඟතාවයට පැමිණියහ.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී 58.97%ක ප්‍රතිශතයක් පොදුජන පෙරමුණ ලබාගත් අතර 2020 පවතී පාර්ලිමේන්තු මැතිවරණයේදී එම ප්‍රතිශතය 67.95%ක් දක්වා ඉහල දමාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.

 

 

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණ ඇතුළු අනෙකුත් මැතිවරණ සඳහා මේ බිම් මට්ටමේ සියලු නායකයින්ගේ සහය තමාට අවශ්‍ය බැවින් හිතුවක්කාරී තීන්දු නොගෙන දිස්ත්‍රික් සම්මේලනයේ මතයට අනුව පක්ෂය තනි තීන්දු නොගන්නා ලෙසද චන්ද්‍රසේන මහතා ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සී. මුතුකුමාරණ මහතා කියා සිටියේ තම පක්ෂය වන පොදුජන එක්සත් පෙරමුණ ගෙන ඇති තීන්දුව කෙළෙහිගුණ නොදන්නා තිරිසන් තීරණයක් බවයි.

 

 

Exit mobile version