Site icon Newshub

ආරාධනාවට නියම වෙලාවට පිළිතුරු දෙන්නම් – ජනපති

දේශපාලනඥයින්ට අවශ්‍ය අවශ්‍ය පරිදි රටේ න්‍යාය පත්‍රය වෙනස්කිරීමට ඉඩ දිය නොහැකි බවත් රටේ න්‍යාය පත්‍රයට අනුව දේශපාලඥයින් සකස් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“එක්ව ජයගමු” කඩවත ජනහමුවට එක්වෙමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා මේබව ප්‍රකාශ කළේය.

මීට වසර දෙකකට පෙර තමන් රට භාරගත් වගකීම මේවනවිට ඉටුකර අවසන් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

“මම භාරගත්තේ ආර්ථිකයක් නැති රටක් . ආණ්ඩුවක් නැති රටක්. මට භාරදුන්නු වගකීම මම දැන් ඉටුකරලා තියෙනවා. මට පක්ෂයක් තිබුණා නමුත් මම විතරයි හිටියේ පාර්ලිමේන්තුවේ.  මේ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න විවිධ ඇමතිවරු මන්ත්‍රීවරුන් එකතුවෙලා අපි කණ්ඩායමක් හැදුවා.

ලංකාව බංකොළොත් උනා කියලා මහාවංශයෙවත් ලියලා තිබුණේ නැහැ. රට ගොඩගන්න අමාරු තීරණ අපිට ගන්න සිදුවුනා.  මම වැඩකරන්නේ රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන්. නමුත් සජබෙ ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් සහයෝගය දුන්නේ නැහැ.  පෝලිම් තිබුණු කාලේ මතකද? අපි ආපහු එහෙම දුක් විදින්න යනවද? නැතිනම් අපි ඉදිරියට යනවද. අපේ ප්‍රශ්න තියෙනවා. තරුණයන්ට රැකියා දීලා නැහැ. තව අවුරුදු කිහියපයක් රැකියා දුන්නේ නැතිනම් කැරැල්ලක් ඇතිවේවි. ජනතාවගේ අදායම් දියුණුකරන්න තියෙනවා. අපි දියුණු ලෝකයකට යන්න තිබෙනවා. මේ කිසිදු දෙයකදී අපි දුප්පත් ජනතාව අමතක කළේ නැහැ. ඔවුන් වෙනුනේ අපි සහන ලබාදුන්නා. සමෘද්ධිය දුන්නා , අස්වැසුම දුන්නා සහල් දුන්නා බෙහෙත් තෙල් සුලබව තිබෙනවා, උරුමය ඉඩම් ඔප්පු දුන්නා.  රටතුළ විශාල විප්ලවයක් මේ මාස කිහිපය තුළ අපි සිදුකරලා තියෙනවා. අපි මෙය ඉදිරියට ගෙන යා යුතුයි. රටේ අනාගතය දේශපාලඥයින්ගේ න්‍යායපත්‍ර අනුව සකස් කරන්න දෙන්න බැහැ. රටේ න්‍යායපත්‍රය අනුව දේශපාලනඥයින් හැදෙන්න ඔනේ. ඒ නිසා සජිත්ටත් අනුරටත් මම ආරාධනා කරනවා අපිත් සමග එකතු වෙලා ඉදිරියට යන්න එන්න කියලා. ගම්පහ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ හදවත. මෙතෙන්ට හැමෝම එකතුවෙන්න.

අපිට සර්ව ජන ඡන්දය ලැබුණු දවසේ ඉදලා අපි මේ දක්වා ප්‍රජාතත්ත්‍රවාදීව කටයුතු කරලා තියෙනවා. කිසිම දවසක ශ්‍රේෂ්ඨාධිකරණයට අතපොවලා නැහැ. අපි වගේ රටක් ආසියාවේ හෝ අප්‍රිකාවේ නැහැ. ඒ නිසා අපි ආඩම්භරවිය යුතුයි. එවගේම තමයි  ආරාධනාවක් කළාම එයට පිළිතුරු දෙන්න අවශ්‍යයි. වෙලාවට ඒ පිළිතුර දෙන්නම්” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය

Exit mobile version