Site icon Newshub

ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ මගේ ජය, පැරදුම නොව රටේ ජය, පැරදුමයි – ජනපති

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රජයේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමඟ ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉන්ධන සහ ගැස් පෝලිම්වල දුක් විදීමට ජනතාවට සිදු වන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වන තරුණ නියෝජිතයන් සමඟ ඊයේ (11) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමිනි.

අද වේදිකා මත විවිධ පොරොන්දු දෙන පිරිසට රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මැතිවරණවලදී පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත වැරද්ද නැවත සිදු නොකරන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබා දෙන ලෙස ද මෙහිදී සියලු දේශපාලන පක්ෂ වෙතින් ඉල්ලා සිටි ජනාධිපතිවරයා ඒ හැර වෙනත් ක්‍රවේදයක් කිසිවෙකුට තිබේ නම් එය රටට ඉදිරිපත් කරන ලෙස ද දන්වා සිටියේය.

Exit mobile version