Site icon Newshub

රට ශක්තිමත් කරන වගකීම අත්හරින්න බෑ

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ වඩාත් අභියෝගයට ලක් වූයේ ද මෙරට කම්කරු ජනතාව බව කී ජනාධිපතිවරයා නොසැලී සියල්ල විඳ දරා ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන  සමස්ත කම්කරු ජනතාවට ස්තූති කරන බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මෙසේද කීය.

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට,  අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින්නෙමු.

අප සියලුදෙනා එක්ව සිදු කරන එම අසීමිත කැපවීමේ  ප්‍රතිඵල අද රට හමුවේ දක්නට තිබේ. මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වෙමින් පවතින අතර උද්ධමනය සැළකිය යුතු ප්‍රමාණයකින් පහළට ගෙන ඒමටත්, රුපියල ශක්තිමත් කිරීමටත් හැකිවීම  රජය ලැබූ ජයග්‍රහණයන්ය.

කම්කරු ජනතාව තවදුරටත් දිළිදු ජනතාව ලෙස රඳවා ගැනීම රජයේ අරමුණ නොවන අතර අරගලයකින් තොරවම ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දීම වෙනුවෙන් “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් ශක්තිමත් කර තිබෙන බවත්, වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනා දෙමින් ඔවුන් නගාසිටුවීම වෙනුවෙන් ද පුළුල් වැඩ කොටසක් ඉටුකරමින් සිටින බවත් සිහිපත් කළ යුතුය.

එමෙන්ම ආර්ථික ගැටළු හමුවේ වුවද රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ හා සමගාමීව පෞද්ගලික අංශය ද සිය උපරිම දායකත්වය ලබා දී තිබේ.

සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවණතා සහ අභියෝග හඳුනා ගනිමින් රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළැඹීමට මෙවර මැයි දින සැමරුම අවස්ථාවක් කර ගනිමුයි සියලු දේශපාලන පක්ෂවලට ඇරයුම් කරමින් රට ඉහළට ඔසවා තැබීමට සියලුදෙනා එක්වන, ස්වකීය අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ලෝක කම්කරු දිනයකට සුභාශිංසන එක් කරමි.

Exit mobile version